දොරකඩ අස්න

Wednesday, July 22, 2015

සන්නාලිපුර විකිනෙන කඳුළු

සන්නාලිපුර විකිනෙන කඳුළු

දුර ඈත කදු අස්සෙ ඉදල සීතල සුළං රැලිති බිත්ති කවුළු අතරින් ඇවිත් සාගරීගෙ නින්දට බාධා කෙරුවත් එයා ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතිව තව ටිකක් පොරෝණය ඇතුලට ගුලි වුනා. හැමදාම උදේ පාන්දරින් කෑගහන බට්ට ඔරලෝසුවේ සද්දෙ නොනවත්වාම ඇහුනත් සාගරීට ඇදෙන් නැගිටින්නනම් හිත දුන්නෙම නෑ. ඒ වුනත් මොනව කරනන ද...? එක දවසක් වැඩට නොගියොත් හරිහමන් පඩියක් අතට ගන්න බැරිවෙන බව මතක්වෙච්චි සාගරී දඩි බිඩි ගාල ඇදෙන් පැන්නෙ ඉක්මනින් ලෑස්තිවෙන්න හිතාගෙන. 
මේ එක චරිතයක් විතරයි. සන්නාලිපුර දහදිය සුවද පතුරුවමින් මැෂින් එක්ක පොර බදින තවත් එක චරිතයක් විතරයි. සාගරී කියන්නෙ දුප්පත්කමේ ඇතුල් කොනක ඉඳන් ඉකිබිඳින අහිංසක කෙල්ලෙක්. තමන්ගෙම එවුන්ගෙ අසරණකම් නැතිකරල දාන්න හිතාගෙන කාෂ්ටක පොළවකට පයගහපු සාගරී ඇත්තටම හිත හයිය කෙල්ලෙක්. ඒත් මේ ජිවිතේ එයා හිතපු තරම් ලේසි වුනේ නැහැ. කලාපෙ වැඩ කරන අපේ ලේලන්ගෙ ජිවිත මෙන්න මේ වගේ තමයි. බඩට නොකා ඇස් දෙකට නින්දක් නැතිව හරිහමන් ඇඳුමක් පැළදුමක් නැතිව මේ ගෙවන ජිවිතේ එකම දුක් ගොඩක්. ඒත් කිසිම කෙනෙක් මේක තේරුම් අරන් නැහැ. තමන් ගන්න පඩියෙන් හතරෙන් එකක්වත් එයාලට තමන් වෙනුවෙන් ඉතුරුම් පොතකට දාගන්න ලැබෙන්නෙ නැහැ. තාත්තගෙ බෙහෙත් වලටයි, මල්ලිලගෙ නංගිලගෙ පන්ති වලටයි බෝඩිමේ ඇන්ටිගෙ ලෑලි කාමර කුලියටයි සල්ලි වෙන් කරාම ඇත්තටම පාර අයිනෙ තියන කෑලි මූටිටු කරපු ගවුමක් ගන්නවත්, පුංචි සැලොන් එකකට ගිහින් හීනියට මේක්අප් එකක් දාගන්නවත් සාගරී ලග සතයක්වත් ඉතිරි වෙන්නෙ නෑ.

සාගරී වගේ ගොඩ දෙනෙක් මේ සන්නාලිපුර ලෑලි කාමර අස්සෙ දුක් විඳිනව. ඒත් ඒ දුක සීතල කාමර වල සැප මෙට්ටවල නිදියන කාටවත්ම ඇහෙන්නෙවත් තේරෙන්නෙවත් නැහැ. සාගරී වගේම අසරණ හඳවතකට විතරයි මේ පපු කුහර අස්සෙ කැකෑරෙන දුක වේදනාව යන්තමට හරි තේරෙන්නෙ. පරිප්පු හොදියි පානුයි, කරෝල හොදියි බතුයි කාල වේල පිරිමහගන්න සාගරී වගේ තුන්වෙනි පන්තියෙ කෙල්ලො මාසයක් තිස්සෙ නැහිල නැහිල අතට ගන්න සොච්චම් පඩිය ප‍්‍රශ්න වලටම දියවෙලා යනකොට පුංචි මනමාලියක් වෙලා ආදරනීය හීන කුමාරයෙකුගෙ තුරුලට යන්න දකින හීන බොඳවෙලා විසිරිලා යන්නෙ කාටත් නොදැනීමයි. හිත කොනක පුංචි වේදනාවක් නැතුවමත් නෙවොයි. හැගීම් දැනීම් තියන කෙල්ලෙකුට ඒ වගේ පුංචි හීනයක්වත් නෑ කියල කිව්වොත් ඇත්තටම ඒක ලොකු විහිලූවක්. ඒත් ඒ හැම හීනයක්ම හිත ඇතුලෙ ගුලිකරගෙන සාගරීල දුක් විඳින්නෙ කා වෙනුවෙන් ද ? ඇත්තටම ඒක ලොකු ප‍්‍රශ්නයක්.

අතේ මිටේ සල්ලි හිඟවෙනකොට ගෙදරට යවන්න පිච්චියක් අතේ නැතිවෙන කොට අකමැත්තෙන් වුනත් සල්ලිකාර මුදලාලිලගෙ ගඳ ගහන යටි පතුල් පාමුල සාගරීලගෙ හිරිමල් හීන ඉහිරිලා යනව. ජිවිතේ බලාපොරොත්තු තමන්ටත් නොදැනි බොර වතුරට ගහගෙන යනකොට තමන් වෙනුවෙන්වත් හෙලන්න කදුළක් සාගරීලගෙ ඇස් කොනකවත් ඉතිරිවෙලා නැතිව තියෙන්න පුළුවන්. තමන්ගෙ ආත්මයට තමන්ගෙ ශරීරයට ඒක මොන තරම් ලොකු වේදනාවක් වුනත්, තමන් ආදරය කරන මිනිස්සු වෙනුවෙන් ඒ දේවල් විඳදරාගන්න සාගරීලගෙ හඳවත් ශක්තිමත්. ඒ වුනත් වටේ පිටේ ඉන්න සුද්දවන්ත නෝනල සාගරීල වෙනුවෙන් අකුරු දෙකේ චරිත සහතිකයක් ලියන්නෙ එයාලටත් හොරෙන්.  ඕක තමයි ඇත්ත. අපි අහන්න අකමැති වුනත් පිළිගන්නම වෙනව. මේ ලෑලි කාමර අස්සෙ සාගරීලගෙ දුක අහන්න කවුරුත්ම නෑ. තමන්ගෙම පන්තියෙ එකෙක් ඇරෙන්න. හෙම්බිරිස්සාවකට කොත්තමල්ලි ඇටයක්වත් තම්බල දෙන්න අම්ම වගේ ලගින් ඉන්නෙ එකට වැටිල නිදාගන්න තවත් සාගරී කෙනෙක් විතරයි. මේකද තරුණ කෙල්ලෙකුගෙ ජිවිතේ...
ජිවිතේ අපි හැමෝම කැමතියි හීන දකින්න. පාට පාට දේදුන්නක නැගල ඒ හීන අතරින් පියාඹල යන්න. ඒත් දුප්පත්කම කියන බැම්ම ඒ හැම හීනයක්ම බොඳ කරල දානවනම්, සාගරීල කොහොමද වැඩි දුරක් පියාඹන්නෙ. අනේ මන්ද...අපේ ඇස් වලට පේන නොපෙනෙන දුරින් සාගරීල ගොඩක් එහෙ මෙහෙ සැරිසරනව. සමහරවිට අද දවසට විතරක් අපි නොදැනුවත්ව ඒ වගේ චරිත දෙක තුනක්වත් හමුවෙන්න ඇති.  ඒ වුනත් එයාලගෙ දුක කිසිම කෙනෙකුට පේන්නෙ නැහැ. අපිට ඒක දැනෙන්නෙත් නැහැ.  ඒත් එයාල බලා ඉන්නව. අද විතරක් නෙවෙයි. හැමදාමත්. සන්නාලිපුර කදුළු වලට වටිනාකමක් ලැබෙනකන්.


සටහන :- අමිල නුවන් මධුසංඛ

No comments: