දොරකඩ අස්න

Monday, July 13, 2015

සමහරවිට මම නැවත සුපර් ස්ටාර් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන එකක් නැහැ.

සමහරවිට මම නැවත සුපර් ස්ටාර් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන එකක් නැහැ.
නිමන්ත හේෂාන් ගමගේ


කොහොමද හේෂාන් මේ දවස්වල ජිවිතේ...?
ම්..ම්..ම්... මේ දවස්වල කලින්ට වඩා ටිකක් වෙනස් විදිහට ඉන්නව. කාර්යබහ්ලත්වයෙන් ටිකක් විතර මිදිල ඉන්නෙ කිව්වොත් හරි.

ඔබේ ආවාස් ඇකඩමිය ගැනත් කතාකරමුකො බලන්න...
මේ ඇකඩමි එක පටන් අරන් දැන් වසර හතරක් විතර වෙනව. මුලින්ම මම මේක පටන් ගත්තෙ අපේ ගෙදරින්. සංගීතය ඉගෙනගන්න ළමයින්ට මගපෙන්වීමක් වශයෙන්. මම ඉන්දියාවෙ ඉන්න කාලෙත් අමතර රැකියාවක් විදිහට ඇකඩමි එකක වැඩ කළා. ඒ ආභාෂයෙන් තමයි මම ලංකාවෙත් එහෙම වැඩක් පටන්ගත්තෙ. මුලින්ම පුංචියට ආරම්භ කළත් මම හිතුව මේක ටිකක් දියුණු විදිහට කරන්න  ඕනි කියල. ඒක නිසා මම තලවතුගොඩ අලූතින් ඇකඩමි එකක් ආරම්භ කළා. කටහඩ පුහුණුව අද ලංකාවෙ සංගීතයට සම්බන්ධ තරුණ ප‍්‍රජාව අතර ජනප‍්‍රිය අංගයක් වෙලා තියෙනව. එ් අයට මේක ලොකු අවස්ථාවක්.

මේ වගේ ඇකඩමි එකක් ආරම්භ කිරීමේ අරමුණ මොකක්ද...?
අද සමහර අය උන්මාදෙකින් වගේ සංගීත විශාරද වෙන්න යනව. නමුත් ඒක සහතිකයක් විතරයි. එයාලට කිසිම ප‍්‍රායෝගික දැනුමක් නැහැ. නමුත් මේ ඇකඩමි එක ඔස්සේ ඔවුන් ගායනා කරන ගීතයක තියෙන්න  ඕනි ආලප්, නාද, භාව, පිළිබඳව ඔවුන්ට හොද වැටහීමක් ලබාගන්න පුලූවන්. මේක හැබැයි තරඟ පස්සෙ යන අයට නෙවෙයි කරන්නෙ. ඇත්තටම සංගීතයට ආදරේ කරන අයටයි මේ ඇකඩමි එක නිර්මාණය කළේ. හොදින් හඩ පුහුණු කළාට පස්සෙ අපිට එයාලව විශාරද විභාගයකට යොමු කරන්න පුලූවන්. මේ වගේ හොද අරමුණකින් තමයි මම ඇකඩමි එක ආරම්භ කළේ.


ඔබේ සංගීත ජිවිතේ වැඩකටයුතු එහෙම කොහොම ද ැන්...?
ලංකාවට ආවට පස්සෙ මගේ හැකියාවන් දැකල ජේ්‍යෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා කළ ආරාධනාවකින් සංගීතය පිළිබඳව විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙන් වීමට අවස්ථාව ලැබුණ. මගේ අරමුණ වුනේ ගායන ක්‍ෂේත‍්‍රයෙන් ඉදිරියට යන්න. නමුත් මේ වැඩත් එක්ක ඒ ගමන ටිකක් පසුගාමී වුනා. නමුත් මගේ ඒ හීනය තවමත් තියෙනව. මම ඒ වෙනුවෙන් වැඩ කරනව. මම ගායනා කරපු ගීත රැසක්ම දැනට මගේ ලග තිබෙනව. මට බලාපොරොත්තුවක් තියෙනව අවුරුද්දක් විතර කාලයක් ඇතුලත මම කරපු පළමු ගීත එකතුවක් මගේ ආදරනීය රසිකයින්ට තිළිණ කරන්නට. 

පවුලෙ විස්තර ගැනත් කියමුකො හේෂාන්...
ම්..ම්.. මගේ අම්ම තාත්ත තමයි මාව කලාකාරයෙක් කරන්න ගොඩක් මහන්සි වුනේ. ඒ වගේම මම දැන් විවාහකයි. මගේ බිරිඳ අංජලී. ඇය ඉන්දියානු ජාතික කාන්තාවක්. දැනට නර්තනය පිළිබඳව කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනව. මට තව ස්පයිඩර් මෑන් කෙනෙකුයි සුපර් මෑන් කෙනෙකුයි ඉන්නව. මගෙ දඟකාර පැටව් දෙන්න. දැන් වයස අවුරුදු හතක් විතර වෙනව. මේ අය තමයි ඉතින් මගේ ජිවිතේම වෙලා තියෙන්නෙ. 

නිතරම අලූත් අයට උදව් කරනව කියන්නෙ ඇත්තද...?
ඔව්. ඒත් මම ඒක ප‍්‍රසිද්ධිය බලාගෙන නම් නෙවෙයි කරන්නෙ. මම මේ තත්වයට එන්න ගොඩක් දුක් වින්ද. ඉතින් මට ඒ දුක තේරෙනව. අලූත් කෙනෙකුට ඒක දරාගන්න අමාරු දෙයක්. මම කැමතියි ඒ නිසා සංගීතයට ආදරේ කරන අයට මට පුලූවන් ආකාරයේ උදව්වක් කරන්න. ඒක මට ලොකු ආත්ම තෘප්තියක්. 

මාධ්‍ය පැත්තෙන් සිරස එක්ක විතරමද සම්බන්ධ වෙලා ඉන්නෙ...?
හොද ප‍්‍රශ්නයක්. ඇත්තටම එහෙම නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මම සිරසෙ වැඩ කරනවයි කියල. නමුත් මම සිරසෙ වැඩ කරන්නෙ නැහැ. එහෙම හිතන්නෙ මම සුපර් ස්ටාර් තරගාවලියෙ විනිසුරු මඩුල්ලෙ හිටපු නිසා වෙන්න ඇති. මිනිස්සු එහෙම හිතන එක කලාකාරයෙක් විදිහට මට ලොකු අසාධාරණයක්. මට දෙරණින් පවා ආරාධනා ලැබුන ඞී‍්‍රම් ස්ටාර් තරඟාවලියට. නමුත් මම ඒ වෙනකොට සිරසෙන් කරපු ආරාධනය පිළිඅරගෙනයි තිබුනෙ. ඒක නිසා මට ඒ ආරාධනාව පිළිගන්න බැරි වුනා. කලාකාරයෙක් කියන්නෙ රටේ ජනතාවගේ සම්පතක්. එයාට එක තැනකට කොටු වෙන්න බැහැ. කලාකාරයෙක් විදිහට මම සිරසත් එක්ක ලගින් වැඩ කරත් සිරසත් එක්ක මගේ කිසිම පෞද්ගලික සම්බන්ධයක් නැහැ.

දේශපාලනයට එන්න එහෙම අදහසක් නැද්ද...?
දේශපාලනේ ගැන පුරවැසියෙක් විදිහට මට තියෙන්නෙ අල්ප දැනුමක් විතරයි. ඒ කියන්නෙ මම දේශපාලනය ගැන ඒ තරම් දන්නෙ නැහැ. මට ඒ විශය ටිකක් නීරසයි. ඒක නිසා කවදාවත්ම මම දේශපාලනයටනම් එන එකක් නැහැ. 

සමහරු කියනව ඔබ විලාසිතා තුළින් රැුටිකල් ඩරිතයක් වෙන්න උත්සාහ කරනවයි කියල...
විලාසිතා වලට මගේ ලොකු කැමැත්තක් තියෙනව.  ඕනිම කෙනෙක්ට  ඕනිම දෙයක් හිතන්න අයිතියක් තියෙනව. ඒත් ඒක මගේ නිදහස. භාහිර පෙනුමෙන් කෙනෙක්ව මනින එක ගොඩක් අසාධාරණයි. සමහරවිට එයාගෙ ඇතුලෙ ඉන්නෙ වෙනස්ම කෙනෙක් වෙන්න පුලූවන්. අනික මම කරන දේ මගේ දෙමව්පියන්ට, මගේ බිරිඳට ප‍්‍රශ්නයක් නැතිනම් කවුරු මොනව කීවත් මට ප‍්‍රශ්නයක් නැහැ.

සුපර් ස්ටාර් ඊලග වටයේ අපිට ඔබව දකින්න ලැබේවිද...?
සමහරවිට එහෙම වෙන එකක් නැහැ. මම දැන් වසර තුනක් එක දිගට සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයෙ කටයුතු කළා. මට හිතෙනව දැන් ඒ ඇති කියල. ඒත් මම එහෙම ප‍්‍රකාශයක් කරල නැහැ. සුපර් ස්ටාර් කියන්නෙ අති දැවැන්ත තරගාවලියක්. මම සතුටු වෙනව මට වසර තුනක් ඒ සමඟ සම්බන්ධ වෙලා අලූත් රපුරක් බිහිකරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. නමුත් සියයට අනූ නවයක් විතර බර තියෙන්නෙ මම එයින් සමුගන්නා පැත්තට.

සිනමා හා ටෙලිනාට්‍ය ගීත ගායනයට යොමුවෙන්න අදහසක් නැද්ද...?
ඒ ගැන මට අනිවාර්්‍යයෙන්ම කියන්න  ඕනි. අද ලංකාවෙ ටෙලිනාට්‍ය සහ සිනමා සංගීතය එක පැත්තකට කොටු වෙලා. දැනට මම ටෙලිනාට්‍ය දෙකක සහ එක් චිත‍්‍රපටයක පසුබිම් ගායනා ඉදිරිපත් කරල තියෙනව. නමුත් තවමත් මට ඒ සම්බන්ධයෙන් හොද ආරාධනයක් ලැබුනෙ නැහැ. මම බලාපොරොත්තු වෙනව ඉදිරියේදි හෝ මට අපේ සිනමාව වෙනුවෙන් යමක් කරන්න ලැබේවි කියල. කියන්න සතුටුයි මට දැන් ඉන්දියාවෙ චිත‍්‍රපටයක පසුබිම් ගායනයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබිල තිබෙනව. සමහරවිට මේ මාසෙ අන්තිමට විතර එයට සම්බන්ධ වෙන්න අවස්තාව ලැබෙයි. 

මොනවද ඔබේ පේ‍්‍රක්‍ෂකයන්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ...?
සමහරු කියනව හේෂාන් ගායකයෙක් වුනාට එයා සින්දු කියන්නෙ නෑ කියල. නමුත් ඒක වැරදියි. මම ගායනා කරපු ගීත විශාල ප‍්‍රමාණයක් තිබෙනව. නමුත් ඒවා ප‍්‍රචාරය කරන්්නෙ නැති එකයි ප‍්‍රශ්නය. මාධ්‍ය ආයතන වල තියෙන්නෙ වෙනමම සිස්ටම් එකක්. කොහොම වුනත් මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්ගේ මගේ මුල්ම ගීත එකතුව මගේ රසිකයන් අතට පත්කරන්නයි මම හිතාගෙන ඉන්නෙ. ඒ වගේම මගේ ආවාස් ඇකඩමි එක හරහා ක්ක්‍ෂේත‍්‍රයට පැමිනීමට බලාපොරොත්තුවෙන් ඉන්න නවක පිරිසට උපරිමයෙන් අතහිත ලබාදෙන්නත් මම කැමැත්තෙන් ඉන්නව. සංගිතයට ආදරේ කරන හැම කෙනෙකුටම මම ආරාධනා කරනව මගෙත් එක්ක එකතුවෙන්න කියල. ඒ සඳහා කැමැත්තක් ඇති අයට පුලූවන් මගෙත් එක්ක කතා කරන්න 0711429000 හේෂාන් හැමදාමත් ඔයාලට ගොඩක් ආදරෙයි. 

සටහන:- අමිල නුවන් මධුසංඛ

No comments: