සුපිරි නළු සල්මන් ඛාන්ගේ ඉරනම
බොලිවුඞ් රඟමඩල අහස් කුසක්නම් මෙතුවක් කල් ඒ අහස සිය දීප්තිමත් ආලෝකයෙන් එකළු කල කඩවසම් තරුව හදිසියේම සිය තරු ඔටුණු ගලවා දැමූයේ මන්ද...? සුවහසක් රසික හදවත් මේ සුවිශේෂී චරිතය කරා ඇදී ගියේ ඔහු තුල වූ අසමසම රංගන පෞරුෂයත් නේත්රාකර්ශනීය කඩවසම් පෙනුමත් නිසාවෙන් වග අමුතුවෙන් කිව යුතු නැත. කලාකරුවන් කලාකාරිනියන් දේවත්වයෙන් අදහන ඉන්දියානු සමාජය තුුල මේ වනවිටත් ඔහු සිය අනන්‍යතාවය මොනාවට කැටයම් කර තිබේ.
සල්මන් ඛාන් යන නම ඇසූ පමනින් නොදන්නා අයකු වේනම් ඒ කලාතුරකිනි. ඔහු එපමනටම ලොව පුරා ජනප්‍රියත්වයට පත් චරිතයකි. කෙසේනමුත් ඔබ ඔහු පිලිබඳව අසන්නට සූදානම් වන්නේ එතරම් සතුටුදායක පුවතක් නොවේ. ඒ මීට බොහෝ කලකට ඉහතදී සිදු කල වරදක් සම්බන්ධයෙන් ඉන්දියාවේ බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි අධිකරණයකදී ඔහුට බරපතල වැඩ සහිතව වසර 05 ක සිර දඩුවමක් නියමකොට ඇති පුවතයි. පසුගිය මැයි 06 වනදා ප.ව 1.27 ට මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමගින් ලොව පුරා බොලිවුඞ් සිනමා ලෝලීන් බලවත් කම්පාවට පත්වූ අතර, ඔහුට නිදහස ලබාදෙන මෙන් ඉල්ලා නොයෙක් ස්ථානයන්හි උද්ඝෝෂන පවා සංවිධානය කර තිබෙනු දක්නට ලැබිණි.
2002 වසරේ එක්තරා දිනයක සල්මන් ඛාන් තමා රගපෑ ජනප්‍රිය චිත්‍රපටයක රූගත කිරීම් අවසන් කොට රාත්‍රියේ නැවතත් සිය ලෑන්ඞ් කෲසර් වර්ගයේ කාරයෙන් නිවස බලා යමින් සිටියදි බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් අසල පදිකවේදිකාවේ සිටි මුස්ලිම් ජාතිකයින් පිරිසක් අනතුරට ලක්කිරීමේ චෝදනාව ඔහුට එල්ලවිය. මෙහිදී එක් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනෙකු බරපතල තුවාල ලැබීය. අනතුර සිදුවූ ස්ථානයෙන් පලාගියද සල්මන්ට පොලිස් ඇසින්නම් බේරීමට හැකියාවක් නොලැබුණි.
අධික ලෙස බීමත්ව සිටි සල්මන් සිය රියදුරාට බැනවැදී ඔහුව පසුපස අසුනට ඇදදමා රථය ධාවනය කොට තිබෙයි. ඒ හේතුවෙන් අනතුර සිදුවන අවස්ථාවේ ඔහුට සිය රථයේ වේගය පාලනය කරගන්නට නොහැකිවූ බව සිද්ධිය ඇසින් දුටුවන් සාක්ෂි දී තිබේ. මේ මොහොතේ රියදුරුට අමතරව සල්මන්ගේ පෞද්ගලික ආරක්ෂකවරයා සහ කමල් ඛාන් නම් ගායකයෙක්ද ඔහුත් සමග රථයේ ගමන්කොට තිබෙයි.
වර්තමානයේ ඉන්දියාව තුල නීතියේ ආධිපත්‍ය කදිමට නිරූපනය වෙමින් තිබේ. ඉන්දියානු දේශපාලනයේ මහා වෘක්ෂයක් වූ ජයලලිතා ජයරාම් මෙන්ම මේ වනවිට දඩුවම් නියමවී සිටින සල්මන් ඛන් ද එයට හොදම නිදසුනකි. සල්මන් අතින් අසරණ ජිවිතයක් විනාශවී වසර 13ක් ගතව ඇති නමුත් න’තිය සියල්ලන්ටම එකහා සමාන වග ඔප්පු කරමින් ඉන්දීය අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
2002 වසරේදී ඉන්දියානු අධිකරණය සල්මන්ව බන්ධනාගාරගත කලද එම අවස්ථාවේ ඔහු ඇපමත නිදහස ලබන්නට වාසනාවන්ත විය. වසර 13 ක් ඇදීගිය මෙම නඩුවේ වරද සල්මන්ගේ රියදුරා වෙත පවරන්නට නීතීඥයින් උත්සාහ කලහ. එසේම මහාමාර්ගය අබලන්ව පැවතිම අනතුරට හේතුව බව පවසමින් මහාමාර්ග සංවර්ධන අධිකාරිය දෙසට වරද පටවන්නටද උත්සාහ ගත්හ. සියල්ල අසාර්ථක වූ තැන සිදුවූයේ සල්මන්ට හිර කූඩුවක තපින්නටය.
සුපිරි නළු සල්මන්ගේ මෙම හදිසි සිරගතවීමෙන් බොලිවුඞ් සිනමා කර්මාන්තයට සිදුවන්නේ බරපතල පාඩුවකි. සල්මන් රඟපෑ බොහෝ සිනමා නිර්මාණ ආදායම් ලැබීම අතින් අතිශය සාර්ථක වීම එයට හේතුවයි. මහා පරිමාණ සිනමාපට නිපදවන නිෂ්පාදකයින් රැුසකට මේ දිනවල විශාල අර්බුදයකට මුහුණ දෙන්නට සිදුව තිබේ. අත්අඩංගුවට ගැනීමට පෙර සල්මන් ඔවුන්ගේ නිර්මාණ රැුසක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝ්ටි 200 කට වැඩි වටිනාකමකින් යුත් ගිවිසුම් සඳහා එකඟවී ඇති හෙයින් සල්මන්ගේ දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නටද මෙම නිෂ්පාදකවරු ඉදිරිපත්ව තිබේ. ඔහු රඟපාමින් සිටි චිත්‍රපට කිහිපයකම වැඩකටයුතු අතරමග නවතා දමන්නටද මෙය බලපෑමක් විය.
1965 වසරේ දෙසැම්බර් 27 දා උපන් සල්මන් මේ ගෙවමින් සිටින්නේ සිය 49 වන උපන්දිනයයි. සුපිරි ඛාන් ත්‍රිත්වයේ නිල නොලත් ප්‍රමුඛයා වන සල්මන් සිනමාවට පිවිසෙන්නේ බීවී තෝ හායි චිත්‍රපටයේ සහාය චරිතයක් නිරූපනය කරමිනි. මේන් ප්යාර් ක්යා, කරන් අර්ජුන්, ගීත්, ප්යාර් ක්යා තෝ ඩර්නා ක්යා, කුච් කුච් හෝතා හේ, හම් දිල්දේ චූකේ සනම්, තේරේ නාම්, නෝ එන්ටී්ර, ඩබාන්ග් 1-2, මුජ්සේ ශාදි කරෝගී, බොඩිගාඞ් සහ කික් මෑතකාලීනව ඔහු වෙත වැඩි ජනප්‍රියත්වයක් ආරෝපනය කළ චිත්‍රපට විය. මේවා වාර්තා පිට වාර්තා තබමින් තිරගතවූ අතර නිෂ්පාදකයින්ද ඔහු වෙන්වෙන් මුදල් ආයෝජනය කරන්නට දෙවරක් නොසිතූහ.
49 වන වියෙහි පසුවූවත් තවමත් අවිවාහක සල්මන් මේ වනවිට පෙම් සබඳතා රැුසක පැටලි සිටි තරුවකි. මුලින්ම නවක නිලි සංගීතා බිජ්ලානි සමග පැටලූණු සල්මන් ඇයව අතහැර ෙඓශ්වර්යා කරා ගියේ සංගීතාට ආයුබෝවන් කියමිනි. සෙල්ලක්කාර දඩබ්බරයකු වූ සල්මන් සමග සිටින්නට ෙඓශ්වර්යාට නොහැකිවූ අතර ඇය ඔහු දමා ගියේ සුරූපී නිලි කැත්රිනාට සල්මන්ගේ පේ‍්‍රම දිවියේ දොරටු විවර කරමිනි. මෑතක් වනතුරුම පැවති එම සම්බන්දතාව බිදී ගියේ කැත්රිනාගේ සිත රන්බීර් කෙරෙහි ඇදීයාමත් සමගිනි. ඉන් පසුව ලංකාවේ ජැකලයින් ෆර්නෑන්ඩස් සමග සමීප ඇසුරක් පැවැත්වූ සල්මන් සමග දීර්ඝකාලීන සම්බන්ධතාවක් පවත්වාගෙන යාම බොහෝ අසීරු කටයුත්තක් වග මෙම නිලියන් නොයෙක් අවස්ථාවන්හිදී ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත්කොට තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම දුර්ලභ මුවන් විශේෂයක් දඩයම් කිරීම සහ තවත් වැරදි වලට චෝදනාකරු වන්නටද සිදුවිය. ට්විටර් වෙබ් අඩවියේ ජනප්‍රිය නළු ශාරුක් ඛාන් පේ්රක්ෂක කැමැත්ත බිලියන 8.2 ක් දිනාගන්නා විට සල්මන් බිලියන 16 කගේ ආදරය දිනාගෙන තිබෙන්නේ ඔහුට ඇති ජනප්‍රියත්වය මොනාවට ප්‍රදර්ශනය කරමිනි. සල්මන්ගේ නීතීඥයින් ඔහුගේ දඩුවම ලිහිල් කරන මෙන් ඉල්ලා සිටියත් ඔහුට පමනක් විශේෂයක් කළ නොහැකි බව එරට අධිකරණය ප්‍රකාශකොට ඇත. අනතුර සිදුවන අවස්තාවේ බැකාඞ් නම් මත්ද්‍රව්‍ය විශේෂය භාවිත කොට සිටි සල්මන් සතුව ඔහුගේ රියැදුරු ගමන් බලපත්රයද නෙතිබූ හෙයින් තවත් දඩයක් හා දඩුවමක් නියමවිය
සල්මන් වෙනුවෙන් ලැබී ඇති අභියාචනා සලකා බැලූ අධිකරණය ඔහුට දින දෙකක නිදහසක් ලබාදී ඇති අතර ඉන් පසුව බරපතල වැඩ සහිතව දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. පසුගිය මැතිවරණ සමයේ ලංකාවට පැමිනි අවස්ථාවේ පවා ඔහුගේ නොහික්මුණු රිය ධාවනය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර අද වන තෙක් එය රහසක්ව පවතී . කෙසේ නමුත් සියල්ල සිදුවී හමාරය. සුවහසක් රසික සිත් අමන්දානන්දයට පත් කල සුපිරි නළුවාටද අවසානයේ වරදට දඩුවම් හිමි විය.
දඩුවම දිගටම ක්‍රයාත්මක වුවහොත් නිදහස ලබනවිට සල්මන්ට වයස 55 කි. ඒ වනවිට තවත් බොහෝ නවක නළුවන් ඔහුගේ තැන ආක්රමනය කර තිබන්නට පුළුවන. එය බොලිවුුඞ් වල නියම යතාර්ථයයි. ඒ සත්‍යයට මුහුණ දෙන්නට සල්මන් ඛාන්ටද සිදුවනු ඇත. මේ නිසා ඉදිරියේද’ සිදුවන්නේ කුමක්දැයි ලොවපුරා සිටින සල්මන්ගේ රසිකයින් නොයිවසිල්ලෙන් බලා සිටින්නේ දෙගිඩියාවක්ද සිතේ රදවාගනිමිනි.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment