ටෙලි නාට්‍ය කලාව
අපේ සන්නිවේදන ක්‌ෂේත්‍රය තුළ ඇසිදිසි මාධ්‍යයක් හැටියට රූපවාහිනිය අත්පත් කරගෙන ඇති ප්‍රමුඛතාව අතිවිශේෂිතයි. ගෙදර පුංචි තිරය ලෙසින්ද ප්‍රකට රූපවාහිනී නාලිකා ඔස්‌සේ විකාශය වන වැඩසටහන් අතරින් ටෙලි නාට්‍ය ලබා ඇති පුරෝගාමිත්වයද සුවිශේෂීය. පවුලේ කාටත් කිසිදු අසහනයකින් තොරව එකට හිඳ නැරඹිය හැකි ටෙලි නිර්මාණයක් වෙනුවෙන් එබඳු අඩපැයකට මිලියන තුන හතරක ප්‍රේක්‌ෂක පිරිසක් එකතු වන බව සමීක්‍ෂණ මගින් තහවුරු වී ඇත. ජාතික හා ස්‌වාධීන රූපවාහිනී නාලිකා පමණක් තිබූ අවධියේ මේ සංඛ්‍යාව මිලියන හය හත දක්‌වා ඉහළ ප්‍රතිශතයක පැවතුණි.
මෙබඳු අතිවිශාල ග්‍රාහක පිරිසකගේ ග්‍රහණයට නතුව පවතින ටෙලි නාට්‍ය වැඩසටහන් ප්‍රේක්‌ෂක ජනතාවගේ රසඥතාව හා කලාත්මක වින්දනය පෝෂ්‍ය කෙරේ නම් එම පසුබිම ගුණාත්මක ටෙලි නාට්‍ය සංස්‌කෘතියක වර්ධනයට ද ප්‍රබල සාධකයක් වනු නිසැකය. හරවත් ටෙලි නාට්‍ය ඔස්‌සේ රූපවාහිනි ප්‍රේක්‌ෂකයන්ගේ බුද්ධිමය නිම්වළලු ප්‍රසාරණය කළ හැකිය. එසේම හරසුන් බොළඳ ටෙලි කතන්දර හරහා ප්‍රේක්‌ෂක රසභාවයන් මොට කර සිහින ලෝක වෙත කොටුකර තැබීම ද කළ හැකිය. වත්මනේ දැකිය හැකි මෙගා ටෙලි නාට්‍යවල සංඛ්‍යාත්මක වර්ධනය නිසා හරසුන් ප්‍රතිඵලය වඩා ඉස්‌මතු වී පෙනෙන බවට චෝදනාවක් නැගේ. එසේම මෙගා ටෙලි නිසා මෙගා නොවන ටෙලි නාට්‍ය හදන අයටත්, එම නළු නිළියන් ඇතුළු ශිල්පීන්ටත් අසාධාරණයක් සිදුව ඇතැයි ද මැසිවිලි ඇසේ. ඊට හේතුව මෙගා නිසා විකාශන කාලය ලබා ගැනීමේ ගැටලුවයි. වෙළෙඳ දැන්වීම් අනුග්‍රහය සතියකට වරක් පෙන්වන නාට්‍යයකට වඩා සතියේ දින පහේම විකාශය වන මෙගා ටෙලිවලට වැඩිපුර ලැබීමද තවත් හේතුවකි.
විද්යුත් මාධ්‍ය ආයතනවල පැවැත්ම සඳහා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙගා නාට්‍ය වෙනුවෙන් ප්‍රචාරණ නියෝජිත ආයතන මගින් ලබාදෙන දැන්වීම් සමූහය නිසා නාලිකාවල වාණිජ අරමුණු සාක්‌ෂාත් වන බව ඇත්තකි. එම පසුබිම මත දැන්වීම් අනුග්‍රහකත්වයක් නොලැබෙන අධ්‍යාපන, සංගීතමය හා සංවර්ධනාත්මක වැඩසටහන් විකාශය කිරීමට රූපවාහිනි නාලිකාවලට අවකාශය සැලසෙන බව ද සත්‍යයකි. වාණිජ පරමාර්ථ මතම ක්‍රියාකිරීම නිසා ටෙලි නාට්‍ය නරඹන අතරතුර වැල නොකැඩී දර්ශනය වන දැන්වීම් රොත්ත නිසා ප්‍රේක්‌ෂක වින්දනයට සිදුවන බාධා පිළිබඳව වෙනම කතා කළ යුතුව ඇත.
නාලිකා රැසක විකාශනය වන බොහොමයක් මෙගා ටෙලි කෘතිවල, ගුණාත්මක පැත්ත පිළිබඳ ගැටලු පවති. කලාත්මක නිර්මාණ හැටියට බැලුවත් ප්‍රශ්න තිබේ. රූපවාහිනී නාලිකා ගණනාවක් තිබෙන නිසාත්, ඒවායේ විවිධ වැඩසටහන් විකාශය වන බැවිනුත් තෝරා බේරා වැඩසටහන් නැරඹීමේ අයිතිය නරඹන්නා සතුය. අසවල් ටෙලි නාට්‍ය හෝ වැඩසටහන අනිවාර්යෙන්ම බැලිය යුතුය යනුවෙන් අණ කිරීමක් හෝ විධානයක් රූපවාහිනී ප්‍රේකෂකයාට නොලැබේ. හරසුන් හෝ බොළඳ ටෙලි නොබලා රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමේ බලයත්, චැනලය මාරු කර වෙනත් චැනලයක තමන් කැමැති වැඩසටහනක් නැරඹීමේ ආධිපත්‍යයන් හිමිව තිබෙන්නේ ප්‍රේක්‌ෂකයාටමය. එසේ නම් මෙගා ගැන, හරසුන් නාට්‍ය ගැන මැසිවිලි නැගෙන්නේ ඇයි විමසා බැලීම වටී.
සමහර ප්‍රේක්‌ෂකයන් සරල වින්දනයට කැමැතිය. යටි පෙළ, යටි අරුත, චරිතවල ඇතුළාන්තයට එබී බැලීමට ඇතැම්හු මනාප නොවෙති. විවෘත ආර්ථික රාමුව තුළ ජීවන බර දරමින්, විවිධ වෘත්තීන් වල නියුතු වුවත් අධික තෙහෙට්‌ටුව, මානසික සුවය පතා ලැබෙන විරාමයේදි තාවකාලිකව හෝ මනෝ රාජ්‍යයක තෘප්තිමත්ව ගත කිරීමට කැමැතිය. විශේෂයෙන් රැකියා කරන සමහර වනිතාවන් මෙන්ම නිවෙස්‌වල උදේ සිට රෑ වනතුරු දරුවන්ගේ සැමියාගේ කටයුතු සොයා බලමින් යුද්ධයක් කරන කාන්තාවන්ද සරල වින්දනයක් සහිත මෙගා ටෙලි බැලීමට මනාපය. යොවුන් වියේ නවක නළු නිළියන් රඟන ටෙලි නාට්‍ය නැරඹීමට ඇතැම් වැඩිහිටි පිරිමි අය පුදුම ආසාවක් දක්‌වති.
ගුණාත්මක හා කලාත්මක ටෙලි කෘති නැරඹීමට කැමැති ප්‍රේක්‌ෂක පිරිසක්‌ද සිටිති. කළයුතුව ඇත්තේ මායා ලෝකවලට කොටුවී තාවකාලික සුවය විඳින කණ්‌ඩායමේ වින්දන ශක්‌තිය ඉහළ මට්‌ටමකට ගෙන ඒමේ ජාතික වගකීම ඉටුකිරීම සඳහා වූ ටෙලි නාට්‍ය සංස්‌කෘතියක් ගොඩනැඟීමය. එහිදී මෙගා සහ මෙගා නොවන ටෙලි නාට්‍ය දෙවර්ගයටම ඉඩහසර ලබාදිය යුතුය. ඒ ප්‍රමිතිගත, සීමා යටතේය. ගුණාත්මක හා කලාත්මක පැත්තට බර තැබෙන මෙගා ටෙලි නාට්‍ය වුණත් යම් සීමා යටතේ විකාශය කිරීමේ වරදක් නැත්තේ ඒ නිසාය.
අද ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රයට සම්බන්ධව සිටින නළු නිළියන් ඇතුළු ශිල්පීන් බහුතරයකගේ ප්‍රධාන ජීවන වෘත්තිය වන්නේ ටෙලිනාට්‍ය කලාවය. සුළු පිරිසකට පමණක් නිවේදන කටයුතු හා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වරම් ලැබී තිබේ. දක්‌ෂ චරිතාංග රංගන ශිල්පීන් මෙන්ම ප්‍රවීණ ශිල්පීන් රැසකගේ ආර්ථිකය ර¹ ඇත්තේ අමාරුවෙන් හදන ටෙලි නාට්‍ය විකාශනය මතය. වැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ මෙගා ශිල්පීන් නොව සාමාන්‍ය ටෙලි කෘතිවලට බද්ධවන අයයි. ටෙලි අධ්‍යක්‍ෂවරු ද මීට අයත් වේ. මේ අනුව බලන විට ලක්‌ෂ සංඛ්‍යාත රූපවාහිනී ප්‍රේක්‌ෂකයන්ගේ ආදරයට පාත්‍ර වෙමින් ඔවුනට රසවින්දනයේ අවකාශය උදාකර දෙන මෙගා සහ මෙගා නොවන නිර්මාණවලට දායකවන සැමගේ ජීවන වෘත්තීය හා අනාගතය සුරක්‌ෂිත කරදීම ජාතික මෙහෙවරක් ලෙස ද වැදගත්ය.
මෙවැනි වටාපිටාවක් තුළ ටෙලි නාට්‍ය කලාවත්, ඊට ජීවය දෙන සියලු දෙනාත් ආරක්‌ෂා කිරීමට නම් මෙගා සහ කොටස් අඩු ටෙලි නාට්‍ය විකාශනයේ වෙනස්‌කම් සිදුවීම අත්‍යවශ්‍ය කරුණකි. දැනට සතියේ දිනපහකම විකාශය කෙරෙන මෙගා ටෙලි නාට්‍යය සතියේ දින හතරක පමණක් (සඳුදා සිට බ්‍රහස්‌පතින්දා දක්‌වා හෝ අඟහරුවාදා සිට සිකුරාදා දක්‌වා) විකාශය කිරීම, මතුව ඇති අර්බුදයට විසඳුමකි. එවිට සතියකට කොටස් හතර බැගින් මාසයකට කොටස් 16 ක් විකාශනය කළ හැකිය. ඒ අනුව කොටස් 100 ක පමණ ටෙලි කෘතියක් මාස 06 ක කාලයකදී නිමාවනු ඇත. උපරිමය කොටස් 200 ක් නම් මාස 12 කදී අවසන් කළ හැකිය. මෙගා ටෙලියක උපරිම කොටස් ගණන මෙසේ 200 කට සිමා කළ හැකි නම් බහුතර ටෙලි ශිල්පීන්ට වුවද අසාධාරණයක් සිදු නොවේ. කොටස් 100 යේ මෙගා නිර්මාණ සඳහා නිමැවුම්කරුවන් උනන්දු කළ යුතුය.
මෙවැනි තත්ත්වයක් තුළ සතියේ දින 03 ක් මෙගා නොවන විශේෂයෙන් කොටස් 50 ට අඩු ටෙලි නාට්‍ය සඳහා විකාශන කාලය වෙන් කළ හැකිවේ. මෙම දින 03 සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා හෝ සෙන, ඉරිදා, සඳුදා විය හැකිය. සමීක්‍ෂණ මණ්‌ඩලවලින් ප්‍රශස්‌ත මට්‌ටමට නිර්දේශවන මෙබඳු ටෙලි නාට්‍ය සෙනසුරාදා හෝ ඉරිදා දිනවල රාත්‍රි 8.30 ට ජනප්‍රිය කාලය තුළ විකාශය කිරීම වැදගත් වේ. ඇතැම් නිර්මාණ විශිෂ්ට තත්ත්වයක පැවතුණද ළමා පරපුරට එතරම් ගෝචර නොවන විට එවැනි ටෙලි නාට්‍ය රාත්‍රි 9.30 ට පසු කාලයේ පෙන්වීම වඩා උචිතය. කොටස් 200 ඉක්‌මවා විකාශය වූ බොහෝ මෙගා ටෙලි නාට්‍යවලට පාදක වී තිබුණේ ජනප්‍රිය නවකතාය. ජනප්‍රිය හෝ සම්මාන දිනූ නවකතාවක් තුළින් වුවද උපරිම ලෙස කොටස් 100 කින් හොඳ ටෙලි නිර්මාණයක් කළ හැකිය. සාහිත්‍ය කෘතියක් ඇසුරින් අඩු කොටස් ගණනක් යටතේ හරවත් නිර්මාණයක් කළ හැකි බවට මෑතකාලීන හොඳම උදාහරණය වන්නේ ස්‌වාධීන රූපවාහිනිය මගින් ඉකුත්දා විකාශය අවසන් කළ සම්මානිත නවකතාවක් පාදකව නිමවා තිබූ "ස්‌වයංජාත" ටෙලි නාට්‍ය කොටස් 60 කට සීමා කර තිබීමය.
ප්‍රේක්‌ෂක රසභාවයන් අමතකකර, වාණිජ අරමුණු මුල්කර ගන්නා විට ඕනෑම කතා තේමාවක් කොටස් තුන් හාරසීය දක්‌වා හෝ නිර්මාණය කළ හැකිය. එසේ වුවද, ටෙලි නාට්‍ය කලාවේත්, එම කලා ශිල්පීන්ගේත් හෙට දවසේ අභිවෘද්ධිය අවංකව ප්‍රාර්තනා කරන්නේ නම් පොදුවේ ටෙලි ශිල්පීන් සැමට සුබසෙත උදාකරන විකාශන වැඩපිළිවෙළක් දියත්වීම යුගයේ අවශ්‍යතාවකි.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment