දොරකඩ අස්න

කලාව (46) සමාජ (22) අධ්‍යාපන (20)
Showing posts with label අධ්‍යාපන. Show all posts
Showing posts with label අධ්‍යාපන. Show all posts

Sunday, October 1, 2017

පුවත්පත යනු කුමක්ද ? එන්න අපි විමසා බලමු ...


ඇත අතීතයේ පටන් අදහස් හුවමාරු කරගැනීම සඳහා මිනිසා විසින් උපයෝගී කරගනු ලැබූ විවිධාකාරයේ මාධ්‍යයන් අතරින් නවීන තාක්‍ෂණයේ සංවර්ධනයත් සමඟ ඇතිවූ ක‍්‍රමවත් සංවිධානාත්මක සහ ප‍්‍රබලතම සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පුවත්පත හඳුන්වා දිය හැකිය. මහජනතාවගේ තොරතුරු අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා ඉතා ලාභදායී සහ පහසුවූත් මාධ්‍යය මෙය වීම හේතුකොටගෙන එය මිනිස් ජිවිතය හා වඩාත් තදින් සම්බන්ධ වූ බව පෙනේ. බුද්ධිමත් ප‍්‍රජාවගේ සුරතට හසුවූ පුවත්පත් කලාව හා සමාජීය අවශ්‍යතා ඉටුකිරීමේ ප‍්‍රබල මාධ්‍යයක් ලෙස වර්ධනය විය. මහජන ප‍්‍රශ්නවලදී පුවත්පත සම්බන්ධවන ස්වභාවය අනුව සමහරවිට එය යම් පිරිසකගේ අප‍්‍රසාදයට පත් වූවත්, තවත් සමහරෙක් එහි ක‍්‍රියා කලාපයට කැමැත්තක් දැක්වීය. ඒ කෙසේ වෙතත් වැඩි කලක් යාමට මත්තෙන් පුවත්පත සමාජයට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වන්නට විය.

සමාජයට අවශ්‍ය කරන එදිනෙදා සිදුවීම් සහ බාහිර ලෝකයේ දැනුම පමණක් නොව සමාජ තොරතුරු ලබාදීමේදී පුවත්පත ඈත අතීතයේ සිටම ඉතා වැදගත් මෙහෙයක් ඉටු කර තිබෙයි. මුල් කාලයේදී මහජනතාවට අවශ්‍ය තොරතුරු ලබාදීමේදී පුවත්පත විධිමත් ක‍්‍රියාපිළිවෙතක් අනුගමනය නොකළත්, පුවත්පත් කලාවේ දියුණුවත් සමග එම තත්ත්වය වෙනස්වී වඩාත් ඵලදායී සහ අර්ථවත් ස්වරූපයක් ගන්නා ලදී. මේ නිසා පුවත්පතේ එන තොරතුරු සත්‍ය වූත්, සංවිධානාත්මක වූත්, ලිඛිත වූත් තොරතුරු වීම හේතුවෙන් සමකාලීන සමාජයේ තොරතුරු දැනගැනීමට රුචිකත්වයක් දක්වන පාඨකයා පුවත්පත කෙරෙහි වඩාත් තදින් බැඳෙන්නට වූහ. 

කවර අරමුණකින් යුක්ත කවර ස්වභාවයේ පුවත්පතක වුවත් මූලික අරමුණ වන්නේ තම පුවත්පත හැකිතාක් පාඨක ජනතාවක් අතට පත්කිරීමයි. ඒ සඳහා පුවත්පත්කරුවා සිය ඥානය සහ දැනුම මෙහෙයවා පුවත්පතේ සෑම අංශයක්ම විචිත‍්‍ර වූත්, ආකර්ෂණීය වූත් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි. පාඨකයාගේ සිත ඇදී යන ආකාරයට විශේෂාංග, ප‍්‍රවෘත්ති මෙන්ම ජායාරූප ආදිය සමාජයේ දක්නට ලැබෙන සෑම පුවත්පතක්ම අමුද්‍රව්‍ය  කරගනියි. පුවත්පත්කරුවා අතින් සම්පාදනය වන පුවත්පත මුද්‍රිත ලේඛනයකට වඩා සිත්ඇදගන්නාසුලූ ලේඛනයක් විය යුතුය. පාඨකයා හොඳ පුවත්පතක් තෝරා බේරාගෙන ඉතා  ඕනෑකමින් කියවන්නේ, මිලදීගෙන කියැවීමට තරම් වටිනා දෙයක් ඒ තුළ අන්තර්ගත වුවහොත් පමණි.

”ප‍්‍රවෘත්ති පත‍්‍රය වූ කලී අප සමාජයේ ආර්ථික, සාමාජික සංස්ථාවකි. එය ලොව පුරා ජනයා හැඩගස්වන ප‍්‍රධාන බලවේගයක් වන අතර, ආර්ථික ප‍්‍රගතිය සහ විශ්ව අවබෝධය සඳහා දරන ජාතික හා අන්තර්ජාතික ප‍්‍රයත්නය කෙරෙහි මහත් සේ බලපායි”.

ප‍්‍රවෘත්ති පත‍්‍රයක යථාර්ථය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් ජෝන් බිට්නර් සඳහන් කරන්නේ එහි ඇතුළත්වන බාහිර ලෝකයේ කිසිවකුගේ අවධානය දිනා නොගත් ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් සමාජයේ සැඟවී සිටින පිරිස් ඉස්මතුව එන බවත්, බලයේ සිටින පුද්ගලයන්ගේ බලවත්කම්වලට පහර එල්ල කරන බවත් දක්වයි. එදිනෙදා සිදුවන තොරතුරු මහජනතාව වෙත මුද්‍රිත මාධ්‍යයෙන් ලබාදීමේ අරමුණින් නිර්මාණය කළ පුවත්පත පසුකාලීනව මහා ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන ආකාරයක් දැකගත හැකිය. පුවත්පත් කලාව පිළිබඳව විශිෂ්ට ගණයේ ඉතිහාසඥයකු වන එඞ්වින් එමරි
Edwin Emery පුවත්පත් යන්න පිළිබඳව මෙසේ නිර්වචනය කරයි.

  • පුවත්පතක් සතිපතා හෝ දිනපතා පළවිය යුතුය. 
  • ඒ සඳහා යාන්ත‍්‍රික මුද්‍රණ ක‍්‍රම උපයෝගී කරගත යුතුය. 
  • සමාජයේ එක් කොටසකට පමණක් සීමා නොවී මුදල් ගෙවිය හැකි   ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගත හැකි විය යුතුය. 
  • කිසියම් සුවිශේෂී සංගමයකට හෝ පුද්ගලයකුට එම පුවත්පත ලබා ගැනීමට හෝ කියවීමට සීමා නොවිය යුතු අතර සාමාන්‍ය සාක්‍ෂරතාවක් සහිත පුද්ගලයින් හටද කියවීමට හැකි විය යුතුය.  
  • ආගමික හෝ ව්‍යාපාරික වැනි විශේෂිත අංශවලට වඩා සමාජයේ සෑමදෙනාටම වැදගත්වන ආකාරයේ සෑම තොරතුරක්ම ඒ තුළ ඇතුළත් විය යුතුය. 
  • එය කාලීන විය යුතුය. 
  • විවේක කාලය තුළදී ප‍්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි විය යුතුය.

එපමණක් නොව පුවත්පතේ අඩංගු වියයුතු කරුණු පිළිබඳවත් ඔහු සිය අදහස් දක්වා ඇත. ඒ අතර, අන්තර්ගතය විවිධාකාර වීම, සියල්ලන්ටම පොදුවේ  උනන්දුවක් ඇතිවන ආකාරයේ තොරතුරු ඇතුළත් කිරීම, නියමිත කාලයට පළකිරීම සහ අඛණ්ඩතාවක් පැවැතීම අනිවාර්ය බව ඔහු දක්වයි. 

පවත්නා සමාජ කෙරෙහි සුවිශේෂී බලපෑමක් කිරීමේ හැකියාවක් ජනසන්නිවේදන මාධ්‍යයන්ට පවතී. ඒ අතරින් පුවත්පතට හිමිවන්නේ අතිවිශේෂ ස්ථානයකි. ජනමාධ්‍ය සහ ජාතික සංවර්ධනය නමැති කෘතියේ ජනසන්නිවේදන මාධ්‍යයන්ගේ කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් විල්බර් ශ‍්‍රාම් ප‍්‍රකාශ කරන්නේ බුද්ධිමත් ලෙස සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පුවත්පත් භාවිත කරන්නේ නම් එයින් ආර්ථික, සමාජ, දේශපාලන කාරණා ඉටුකරගත හැකි බවයි.
සංවර්ධනය වන රටවල පුවත්පත් දේශපාලන නායකත්වය ගොඩනැගීමෙහිලා ඉවහල් වන බැවින් සංවර්ධනය වන රටවල්වල පුවත්පත් වඩාත් බලවත් වෙයි. දේශපාලන රැුස්වීම්වලදී මහජන නායකයින් විසින් සිදුකරන ප‍්‍රකාශයන් මෙන්ම ප‍්‍රතිවාදීන්ට ලබාදෙන පිළිතුරු පවා ඉතා වේගයෙන් ප‍්‍රචාරය කිරීමට පුවත්පතට හැකියාව ලැබීම ඊට හේතුවයි. ගුවන් විදුලියේදී එය සීමාසහිතය. පුවත්පතට එවැනි බාධා නොමැති අතර අවශ්‍ය තරම් විස්තර ඉදිරිපත් කිරීමටත්, පාඨකයන්ට ඒවා කියැවීමටත් ඉඩකඩ ලැබේ. 89% පමණ ප‍්‍රමාණයකට කියැවීමට හැකිවීම සහ ජාතික පුවත්පත් ජනතාව අතර ඉතා බහුල ලෙස පරිහරණය වීම හේතු කොටගෙන පුවත්පත් ඉතා ප‍්‍රබල මාධ්‍යයක් බවට පත්ව තිබේ.

ජනතාව අතර වැඩි වශයෙන් පරිහරණය කරන ජනමාධ්‍යය වන්නේ පුවත්පතයි. එය මිලදී ගැනීමට සියල්ලන්ටම හැකියාවක් නොවූවත් බොහෝදෙනා පුවත්පත කියැවීම පුරුද්දක් කරගෙන සිටිති. එපමණටම එය ජනතාවගේ හදවතට කාවැදී ඇත. පුවත්පත් මිලදී නොගන්නා පුද්ගලයන් කාර්යාලයේදී, පුස්තකාලයකදී හෝ වෙනත් අසල්වැසි නිවසකින් පුවත්පත කියැවීම සිදුකරයි. පුවත්පත ප‍්‍රබල ජනමාධ්‍යයක් බව ප‍්‍රකාශ කරන්නේ එබැවිනි. 

සටහන :- අමිල නුවන් මධුසංඛ

Wednesday, March 29, 2017

සිනමාවේ පෙම් කෙහෙළි නැංවූ කිරිල්ලියගේ තටු සිඳුණු වගයි ...

සිනමාවේ පෙම් කෙහෙළි නැංවූ කිරිල්ලියගේ තටු සිඳුණු වගයි ...

දකුණු ඉන්දීය දේශපාලන කරලිය සලිත කරවූ ආවේගශීලී චරිතය, එසේත් නැතිනම් 70 දශකයේ සිනමාවේ ජය කෙහෙළි නැන්වූ පේ‍්‍රම තාරකාවිය ජයලලිතා ජයරාම් නැවත නොපැමිනෙන ගමන් ගොස් ඇත. දේශපාලන ජීවිතයේදී ඇය කුමන ප‍්‍රතිරූපයක් ගොඩනගා ගත්තද සිනමාව තුළ ඈ ගොඩනගාගත් පේ‍්‍රක්‍ෂක ආදරය තවත් බොහෝ කාලයක් පේ‍්‍රක්‍ෂක හදවත්හි නිදන්ව පවතිනු ඇත. මේ ඇය වෙනුවෙන් තබන ඇගේ ජීවිතය වෙන්වෙන් තබන සංවේදී අතීතාවර්ජනයකි. 

ජයලලිතා යනු කවුරුන්ද...? 

තමිල්නාඩුවේ සුප‍්‍රකට දේශපාලන චරිතයක් වන ජයලලිතා ජෙයරාම් මෑත අතීතය තුළ බොහෝ මාධ්‍ය තුළ බහුළව කතා බහට ලක් වූ චරිතයක් වේ. ඒ ඇගේ වත්කම් අක‍්‍රමිකතාවක් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ඇදුණු නඩු විභාගයකින් පසු ඇයට සිර දඬුවම් නියම වීම හා එතෙක් ඇය විසින් දරණ ලද තමිල්නාඩු මහ ඇමති පදවියෙන් ඇය ඉවත් කිරීම නිසාවෙනි. ඇය සම්බන්ධ මෙම නඩු තීන්දුව හා ඇගේ දේශපාලන අනාගතය ගැන පසුගිය දිනවල විශාල වශයෙන් මාධ්‍ය තුළ සාකච්ඡුා විය. එමෙන්ම ඇගේ දේශපාලන ජිවිතය ගැන අද බොහෝ මාධ්‍යන් තුළ කතාබහට ලක් වුව ද, ඇය කාලයක් දකුණු අප‍්‍රිකාවේ සිටි ජනප‍්‍රියම නිළියයි. 

ජය ලලිතා යනු 1948 පෙබරවාරි 24 වැනිදා කර්නාටක ප‍්‍රාන්තයේ දී මයිසූර් නගරයේ දී උපත ලැබූ කාන්තාවකි. මේ නිසා ඇය කන්නඩා පවුලකට දාව උපන් යුවතියක් හැටියට ඇයගේ විරුද්ධවාදීහූ ඇය හැඳින්වීමට පුරුදු වී සිටියහ. එහෙත් ඇය අයත් වූයේ  ස්ටිරන්ගම් ප‍්‍රදේශයෙන් පැවත එන දෙමළ අයන්බර්ග් බ‍්‍රාහ්මණ පවුලකටය. ඇයගේ සීයා මයිසූර්හි මහාරාජාට සේවය කළ වෛද්‍යවරයෙකි. ජයලලිතාගේ උපැන්න සහතිකයේ ඇති නියම නම ”කෝමලවල්ල ජයරාම්ය”. නිවසේ අයත් පාසල් මිතුරියනුත් හුරතලයට ඇය අමතන ලද්දේ අම්මු කියාය.

කොමලවල්ලි මූලික අධ්‍යාපනය ලැබුවේ බැංගලෝරයේ බීෂොප් කාන්තා උසස් විද්‍යාලයෙනි. ඉන්පසු චෙන්නායහි බාලිකා විද්‍යාලයට ඇතුළු මැටිරි කියුලේෂන් විභාගය දක්වාම ඉගෙනුම ලැබූවාය. 1964 දී ඇය මැටිරි කියුලේෂන් විභාගයෙන් සමත් වූවාය. මධ්‍යම පංතියේ පවුලකට දාව ඉපදීම නිසා ජයලලිතාට අන් තරුණියන් ට මෙන් සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ නොලැබුණි. ජයලලිතාගේ පියා ජයරාම් නාස්තිකාර ක‍්‍රියාවන් නිසා පවුලේ අඟහිගකම් එන්න එන්නම වැඩි විය. මේ නිසා ජයලලිතාගේ මව වන වෙදවල්ලිට පවුල ගෙන යාම සඳහා අරගලයක් කිරීමට සිදු විය. 

වෙද වල්ලි රූමත් ගැහැනියකි, තරුණ කාලයේ වේදිකා නාට්‍යයවල පෙනී සිටීම නිසා රංගන ශිල්පිණියක ලෙස ප‍්‍රසිද්ධ වී සිටි ඇය වේදිකාවෙන් ඉවත් වූයේ විවාහයෙන් පසුවය. එහෙත් සිය සැමියාගේ නාස්තිකාර ක‍්‍රියාවන් නිසාත් පවුලේ අගහිඟකම් වැඩි වීම නිසාත් අතට කීයක් හෝ ලබා ගැනීම සඳහා වෙදවල්ලිට යළිත් දන්නා රැකියාවට එක්වීමට සිදු වූයේය. මෙවර ඇය එක් වූයේ වේදිකාවට නොව සිනමා රංගනයටය. සිනමා රංගනයට එක් වීමෙන් පසු සන්ධ්‍යා නමින් පෙනී සිටි ඇය සුළු චරිත රඟපාමින් පවුල නඩත්තු කිරීම සඳහා සුළු මුදලක් සොයා ගත්තාය. මැටිරි කියුලේෂන් විභාගයෙන් සමත් වූ ජයලලිතාට තවදුරටත් ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට ඉඩක් නොලැබුණේ නිවසේ පැවති අගහිඟකම් නිසාමය.

ජයලලිතා කුඩා කල සිටම භාරත නාට්‍ය කලාවටත් කර්ණාටක සංගීතයටත් බෙහෙවින්ම ඇලූම් කළ යුවතියකි. ඒ බව දැන සිටි වෙදවල්ලි කොපමණ අගහිඟකම් තිබුණත් සිය දියණියට භරත නාට්‍යත්, කර්ණාටක සංගීතය හැදෑරීම සඳහා පංතියකට යෑවීමට පියවර ගත්තාය. බී. ආර්. බත්තුලූ එකල කන්නඩා සිනමාවේ සිටි ජනප‍්‍රියම චිත‍්‍රපටි අධ්‍යක්ෂකවරයෙකි. දිනක් ඔහුට ජයලලිතා විසින් ඉදිරිපත් කරන ලද අරංගේත‍්‍රම් නැටුම් දැක්මක් දැක බලා ගැනීමට අවස්ථාවක් ලැබිණි.

ජයලලිතාගේ නැටුම් දුටු බත්තුලූ ඇයගේ හැකියාවන් ප‍්‍රයෝජනයට ගැනීමට ඉටා ගත්තේය. මේ අනුව ඔහු එවකට නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් කර තිබූ ”චින්ඩා ගොම්බේ” නමැති කන්නඩා චිත‍්‍රපටියෙන් ප‍්‍රධාන චරිතය රඟපෑම සඳහා ජයලලිතා තෝරා ගත්තේය. මේ වන විටත් කොමලවල්ලී නමින් හැඳින්වුණු ඇය ජයලලිතා වුයේ ”චින්නඩා ගොම්බේ” චිත‍්‍රපටියෙන් රංගනයට එක්වූවාට පසුවය.  
මේ ආකාරයට සිනමාවටත් පසුව දේශපාලනයටත් පැමිණෙන ජයරාම් ජෙයලලිතා අද වන විට මාධ්‍ය කරලිය තුළ බොහෝ ලෙසින් කතා බහට ලක් වන චරිතයක් බවට පත්ව තිබේ.  

සිනමාවට අවතීර්ණ වීම

පසුගිය කාලසීමාව තුළ ඇමතිනී ජයලලිතා ජයරාම් අත්අඩංගුවට ගැනීම හා ඒ ආශ‍්‍රිත සිදුවීම් පිළිබද විශාල අන්දෝලනයක් ඇති වීය. දැන් ඇය ඇප මත නිදහස ලබා තිබේ.ඇය අත්අඩංගුවට ගැනීමත් සමග බොහෝ පිරිසක් හෘදයාබාධ සහ සියදිවි  නසාගැනීම් වලින් මිය ගියේ ය. මේ සියළු දේට බලපාන ලද්දේ ඇය ප‍්‍රබල දේශපාලන චරිතයක් මෙන්ම 60,70 දශකයේ  දෙමළ සිනමාවේ රජකම් කළ රූමත් නිළියක වීමයි.මෙම කාල සීමාව තුළ දෙමළ සිනමාවේ තීරණාත්මක චරිතයක් වූ හා දකුණු ඉන්දියානු සිනමාවේ නිල නොලත් රැජිණ ලෙස හැදින්වුණු ඇය කොට ගවුම්වලින් හා සාය වලින් සැරසුණු පළමු දෙමළ සිනමා නිළිය ලෙසද ඉන්දියානු සිනමා වාර්තා පොත් අතරට එක්ව සිටියේ ය.

උපන් නම කෝමලවල්ලි වුවද සිනමාව තුළ මේ රූමතිය ප‍්‍රකට වූයේ ජෙයලලිතා නමිනි.වර්තමානයේදී තවදුරටත් සිනමා නිළියක නොවන හා ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්  වන ඇය තම සම්පූර්ණ නම වන ජයලලිතා ජයරාම් යන නාමයෙන් ලොව පුරා ප‍්‍රසිද්ධ වීය. කෝමල වල්ලිට නව යොවුන් වියේදිම ජයලලිතා නමින් සිනමාවට අවතීර්ණවීමට සිදුවූයේ පවුලේ අගහිගකම් නිසා ය.මයිසූර්හි මහරාජාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඇගේ පියා ඇයට වයස අවුරුදු දෙකේදී මිය යන්නේ මත්පැන් වලට පවුලේ දේපළ හා මුදල් දියකිරීමෙන් පසුවය.මේ නිසා ඇගේ මවද පවුලේ වියදමට මුදල් සෙවීමේ අරමුණින් සන්ධ්‍යා නමින් දෙමළ සිනමාවට එක්වූවාය.

කෝමලවල්ලි හෙවත් ජයලලිතාගේ පියා මියයාමත් සමග ඇයගේ මව තම කුඩා දියණියද රැගෙන බැංගලෝරයට පැමිණෙන්නීය.එහිදී ඇය තම ජීවන වෘත්තිය බවට පත්කරගන්නේ දෙමළ සහ කන්නඩ සිනමා පටවලට රංගනයෙන් දායක වීමයි. ඇයගේ් රූ සපුව සහ රංගන හැකියාව නිසාම සිනමා ක්‍ෂේත‍්‍රයේ කිසියම් ස්ථාවරත්වයක් දිනාගැනීමට ඇයට හැකි වූ අතර සිනමාව වෙනුවෙන් ඇය තම නාමය සන්ධ්‍යා යනවෙන් වෙනස් කර ගත්තාය.

සන්ධ්‍යා මෙලෙස රංගනයේ යෙදෙමින් උපයන මුදල් වැයකළේ තම දියණිය වෙනුවෙනි.නේවාසික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි කුඩා ජයලලිතාට හැකි උපරිම අධ්‍යාපනයක් ලබා දීම ඇයගේ අරමුණ වීය.ජයලලිතාද අධ්‍යාපනයෙහි සමත්කම් දැක්වූවාය.ඉංග‍්‍රීසි බස ඇයට හුරු වූයේ කුඩා කල සිටමය. එහෙත් කල් ගත වත්ම සන්ධ්‍යා වටහා ගත්තේ සිනමාව යනු නධානයක් බවත්,තමාට ඉන් ලබාගත හැක්කේ අවම ප‍්‍රමාණයක් බවත්ය.එහෙත් එම නිධානයට උරුමකම් කීමට තරම් රූපයෙන් සහ දැනුමෙන් සන්නද්ධ වස්තුවක් තමා සතු බව ද ඇය වටහා ගත්තාය.ඒ වස්තුව අන් කිසිවක් නොව කුඩා ජයලලිතාය.ඒ අනුව කුඩා වියේදිම මවගේ ආශිර්වාදය මත සිනමාපටවල ට රංගනයෙන් එක් වීමට ජයලලිතාට සිදු වීය.

මේ වන විට කෝමලවල්ලි ඉගෙනීමට දක්‍ෂකම් දැක්වූ හුරුබුහුටි දැරියක වූවා ය.ඉගෙනීමට දක්‍ෂ වුවද එය පසෙකලා ආර්ථික අර්බුදය නිසාම ඇයට සිනමාවට එක්වන්නට සිදු වීය.කෝමලවල්ලි ජයලලිතා නමින් සිනමා නිළියක් වන විට ඇයගේ වයස අවුරුදු පහළොවකි.දියණියගේ අධ්‍යාපනයට බාධාවක් නොවන ආකරයෙන් නිවාඩු කාලයේ රූපගත කිරීම් සිදුකරන බවට නිෂ්පාදකවරුන්ගෙන් ලබාගත් පොරොන්දුව පිට ඇගේ මව මුලින්ම ජයලලිතාට රගපාන්නට ඉඩදුන්නේ ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපයට අනුව යමින් නිර්මාණය කරන ලද ”එපිස්ටල්”නම් ඉංග‍්‍රීසි චිත‍්‍රපටයේය. 

ජයලලිතාගේ සිනමා ජීවිතය

වයස 15ක් පමණ වූ නව යොවුන් වියේදීම සිනමා දිවියට අවතීර්ණ වූ ජයලලිතා ඉන්දීය සිනමාව තුළ රන් සලකුණු තැබූ තාරකාවියකි. ඈ සිහින දුටුවේ හොදින් ඉගෙන ගෙන නීතිඥවරියක වී එම වෘත්තිය හරහා කෝටිපතිනියක වීමටයි. නමුත් පවුලේ පැවතියා වූ අගහිගකම් නිසා ඇගේ සිහිනය බිද වැටුණි. නමුත් අහම්බෙන් හෝ ඈ සිනමාව නැමති මාවතේ තැබූ පය ඈ සුවහසක් ජනතාවකගේ හද ගත් තැනැත්තියක් බවට පත්කෙරීය. ජයලලිතා නාමය සමස්ත ඉන්දියාව තුළත් ඉන් පිටත රට රටවල් වලද ජනතාව අතර ජනප‍්‍රියව පැතිර යාමට ඈ ඉන්දීය සිනමාව තුළ දැක්වූ ප‍්‍රතිභාව ප‍්‍රබල මෙන්ම වඩාත් බලපෑම්කාරී විය. 

සිනමාවට අත්පොත් තැබීම

ඈ සිනමාවට අත්පොත් තැබුවේ ”එපිස්ල්” නම් ඉංගී‍්‍රසි චිත‍්‍රපටිය තුළිනි. එය ජේම්ස් බොන්ඞ්” නැමති චිත‍්‍රපටිය අනුව යමින් තැනූනකි. එය හිටපු ඉන්දියානු ජනාධිපතිවරයකු වූ ආචාර්ය වී.වී ගිරිගේ පුත‍්‍රයා වන ශංකර් ගිරිගේ අධ්‍යක්ෂණයකි. ගී‍්‍ර බසින් ද දෙබස් කවන ලද මේ චිත‍්‍රපටිය 1961 වසරේ තිරගත විය. 

විවිධ සිනමා ධාරා ඔස්සේ පැතිරුණු ප‍්‍රතිභාව

”එපිස්ල්” චිත‍්‍රපටයෙන් ඇරඹි ජයලලිතාගේ සිනමා ගමනය එක් අංශයකට පමණක් සීමා නොවුණි. ඈ කන්නඩ, දමිළ, හින්දි, තෙළිගු ආදී විවිධ සිනමා චිත‍්‍රපට තුළින් තම රංගන කුසලතා එළිදැක්වීය. එතුළින් පැහැදිලි කළේ සිනමාව නැමති මාධ්‍ය තුළ ඈ දැක්වූ විශිෂ්ට බවයි.

කන්නඩ චිත‍්‍රපට 
  
”චින්නඩ ගොම්ර්යබේ” නම් වූ ඇගේ පළමු කන්නඩ චිත‍්‍රපටය ආදායම ලැබීම අතින් අතිශයින් ජනපි‍්‍රය වූ චිත‍්‍රපටියකි. මෙහි අධ්‍යක්ෂවරයා වූයේ සී.වී සර්ධා නමැත්තායි. එය ඇගේ සිනමා දිවියේ සුවිශේෂී මං සලකුණකි.

දමිළ චිත‍්‍රපට

ජයලලිතා රගපෑ පළමු දෙමළ චිත‍්‍රපටය වන්නේ ”වෙන්නිර ආදෙයි” චිත‍්‍රපටයයි. මේ චිත‍්‍රපටය තිරගත වූයේ 1965 දීය. මේ වනවිට ඇගේ වයස අවුරුදු 14කි. මේ චිත‍්‍රපටය හරහා එක රැුයින් තරුවක් වන්නට ජයලලිතාට හැකි විය. ති‍්‍රකෝණාකාර ආදර අන්දරයක් රැුගත් මේ චිත‍්‍රපටය ආදායම් වාර්තා පිහිටුවීමට සමත් විය.

හින්දි චිත‍්‍රපට

හින්දි චිත‍්‍රපට කීපයකටම ඈ තම රංගන කුෂලතාව එක් කළ අතර එ් අතරින් මතකයේ රැුදෙන චරිතයක් බවට පත් වූයේ ”ඉස්සත්” නම් චිත‍්‍රපටය හරහාය.

තෙළිගු චිත‍්‍රපට

ඈ රගපෑ පළමු තෙළිගු චිත‍්‍රපටය වූයේ මනෂුලූ මමතලූ ය. ප‍්‍රථම වරට වීරවරිය හෙවත් පෙම්වතියගේ චරිතයට ඈ රංගන දායකත්වය ලබා දුන්නේ මේ චිත‍්‍රපටය තුළිනි.

ජයලලිතාගේ ජනපි‍්‍රයත්වය 

ප‍්‍රතිභාපූර්ණ නිළියක් ලෙසින් ඉන්දීය සිනමාව තුළ සලකුණු තැබු ජයලලිතා එතුළින් සුවහසක් පේ‍්‍රක්ෂකයින්ගේ සිහින කුමරිය බවට පත්විය. නොසිතූ පරිදි සිනමාව නැමති මාවතේ පියනැගූ ඈ කෙරෙහි ලෝකයක් තුළ විශ්වාසයක්, බැදීමක්, ගෞරවයක් ඇතිවූයේ ඈ සතුව පැවති කුමන කාරණා නිසා දැයි විමසා බැලීම වටී.
  • රංගනයෙහිලා දැක්වූ නිර්භීතකම 
  • ජයලලිතා සතු රූමත්බව 
  • කෙටි ඇදුමින් සැරසී කළ සාරාගී රගපෑම 
  • දක්ෂ ලෙස ගීත ගායනා කිරීමට තිබූ හැකියාව (චිත‍්‍රපටි පසුබිම් ගායිකාවක් වීම
ජයලලිතා රගපෑමට පමණක් නොව ගායනයටත් දක්ෂතා දැක්වීය. ඈ වයස අවුරුදු 4 සිට කර්ණාටක සංගීතය ප‍්‍රගුණ කළාය. ඈ තමා රගපෑ චිත‍්‍රපට කීපයකම ගීත ගායනා කළාය. ” අම්මා එන්ද්‍රාලාල් එම්බු” නැමති ගීතය, ” අදිමායි පෙන්” චිත‍්‍රපටයට ගායනා කළ ජයලලිතා එ් ගී හඩෙන් රසික ලොවක් වසග කරගත්තා. එ් නවසිය හැත්තෑව දශකයේදී. පසුව ජයලලිතා තවත් චිත‍්‍රපට ගණනාවක ගීත ගායනා කළා. එස්.පී බාලසුබ‍්‍රමනියම්, ටී.එම් සවුන්දරාජන් වැනි ගායකයන් සමග යුග ගී ගැයීමටත් ඇයට හැකියාව ලැබුණි.
  • පොත් කියවීමට දැක්වූ දැඩි ඇබ්බැහිකම
ඈ කොතරම් පොත් කියවීමට රුචියක් දැක්වූවාද කිවහොත් ඈ චිත‍්‍රපට රූගත කිරීම් වලටද ගියේ පොතින් සන්නද්ධවය. ඈ සතුව සුවිසල් පුස්තකාලයක් වෙයි.
  • ඉංගීසි භාෂාව හොදින් කතා කිරීමට තිබූ හැකියාව
ඇය තම පි‍්‍රයතම ලේඛකයින් ලෙස චාල්ස් ඩිකන්ස්, ජේන් ඔස්ටන්, ඔස්කා වයිල්ඞ්, බර්නාඞ් ෂෝ, පර්ල් එස්.බක් හා සිඞ්නි ෂෙල්ඩන් ආදීන් හදුන්වාදෙයි.

එම්.ජී.ආර් හා ජයලලිතා සුසංයෝගය

ජයලලිතාගේ ඉරණම තීන්දු කරන ප‍්‍රබලම සාධකය වූයේ එවකට මැදිවියේ පසුවූවද එ් වනවිටත් දෙමළ සිනමාවේ ”කොල්ලාගේ” චරිතය රගපාමින් අතිශය ජනපි‍්‍රයව සිටි එම්.ජී රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර් සමග රගපාන්නට ලැබීමයි. ”ආයරතිල් ඔරුවාන්” චිත‍්‍රපටයේ දෙදෙනා මුලින්ම එකට රගපෑ අතර චෙන්නායි නගරයේ පමණක් දින 100 ඉක්මවා තිරගත වුණු එය ජයලලිතා එම්.ජී ආර් යුගයක් ගොඩනගන්නට මූලික විය. 


විවාහකයෙකු වූ එම්.ජී රාමචන්ද්‍රන් හා ජයලලිතා අතර ප‍්‍රබල හිතවත්කමක් ගොඩනැගුණු අතර ඔවුන් දෙදෙනා එකට රගපෑ චිත‍්‍රපට ගණන 28 කි. තම සිනමා දිවියේ තමා සමග රගපෑ නළුවන් අතරින් තම පි‍්‍රයතම නළුවා ලෙස ජයලලිතා විසින් හදුන්වා දෙනු ලැබූ එම්.ජී.ආර් හා ඇය අතර පෙම් සබදතාව මාධ්‍ය වලට රස පුවත් මැවූ නමුත් ජයලලිතා අදටත් කියන්නේ ඔහු සිනමාවේ මෙන්ම දේශපාලනයේද තම ගුරුවරයා වූවා මිස කිසිකලෙක ඔහු  තම පෙම්වතා නොවූ බවයි.
ජයලලිතා දිනූ සම්මාන
  • තෙවරක් හොදම නිළිය ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇය දිනා ගෙන ඇත. 
  • ”දෙයිවමහන්” චිත‍්‍රපටය ඔස්කාර් සම්මාන උළෙල තුළ හොලිවුඞ් නොවන අංශය නියෝජනය කිරීමට ඉන්දියාවෙන් යවන ලද පළමු දමිළ චිත‍්‍රපටය වීම. 
  • තමිල්නාඩුවේදී කලාවෙහි හා සාහිත්‍යයෙහිලා ඉහළම දස්කම් පෙන්නුම් කරන පුද්ගලයන්ට පිරිනමනු ලබන ”කලෙයිමාමනී” සම්මානය 1972 දී හිමිවීම. 
  • 1972 දී ශිවාජි ගනේෂන් සමග රගපාන ලද ”පතික්කදා පත්තනාමා ” හොදම දමිළ චිත‍්‍රපටය වීය. එහිදී හොදම නිළිය සම්මානය ජයලිතාට හිමි වීය. 
  • ”සූර්යකාන්ති” චිත‍්‍රපටය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමිවිය. 
  • ”ශ‍්‍රී ක‍්‍රිෂ්ණ සත්‍ය” තෙළිගු චිත‍්‍රපටය වෙනුවෙන් තුන්වන වරටත් ෆිල්ම්ෆෙයාර් හොදම නිළිය සම්මානයද ඇයට හිමි වීය.
සිනමාවෙන් සමුගැනීම

1990 වසරේදී කන්දන් කරුනෙයි චිත‍්‍රපටයේ ර`ගපා ජයලලිතා සිනමාවෙන් සමුගත්තාය. එවිට ඇගේ වයස 32 කි.
ජයලලිතාගේ ජීවිත කතාව චිත‍්‍රපටයකට

තමිල්නාඩු ජනතාව ජයලලිතා අම්මා ලෙස ඇදහීම සිදු කරයි. මේ නිසාම ඇය වෙනුවෙන්  ”අම්මා” චිත‍්‍රපටය නිර්මාණය වීය. එය දෙමළ, හින්දි,   කන්නඩ, මලයාලම්, තෙළිගු යන භාෂා වලින් හඩකවා ඇත.මෙහි ප‍්‍රධාන චරිතය වන ජයලලිතාගේ චරිතයට පණපෙවීම සිදු කරනනේ  රාගිනි ද්්ව්වේදී ය. 

උම්මි චිත‍්‍රපටයේදී ජයලලිතා ජමරාම්ගේ චරිතය නිරූපනය කරන රාගිනී මේ වන විට 24වන වියේ පසුවේ. වීරා මහාහාරි චිත‍්‍රපටයෙන් 2009 දී සිනමා රංගනයෙන් පිවිසි ඇය ශ‍්‍රී ලංකාවේ ද ජනප‍්‍රිය චරිතයකි.කෙසේ වෙතත් මෙම සිනමා නිර්මාණය හරහා ජයලලිතාගේ ප‍්‍රතිරූපය තවදුරටත් ගොඩනැගීමට හේතු විය. එමෙන්ම ඇගේ දේශපාලන චරිතය අලලා 1997 වසරේදී මනිරත්නම් අධ්‍යක්ෂණය කළ ඉරුවාර් නම් චිත‍්‍ර
ටයේ ඇයගේ චරිතයට පණ පෙව්වේ අයිෂ්චර්යා රායි විසිනි.

කෝමලවල්ලි හෙවත් ජයලලිතා නැවත කිසි දිනක දේශපාලන කරලියේ හෝ සිනමා කරලියේ රඟ දෙනු ඔබට දකින්නට නොලැබෙනු ඇත. ඇගේ මතකයන් ලාංකිකයන් වශයෙන් අපට කෙතරම් නීරස වූවත් සිනමා ලෝලී පේ‍්‍රක්‍ෂකයින්ට සහ දකුණු ඉන්දීය දේශපාලන කරලියටනම් ඇගේ සමුගැනීම ශෝචනීය විලාපයක් වනවාට සැක නැත. දිවි රඟමඩලෙන් සමුගත් කොමළවල්ලී ඔබට නිවන් සුව අත්වේවා... 

සංවේදී සටහන :- අමිල නුවන් මධුසංඛ

Sunday, March 26, 2017

සමාජ විකාශනාත්මකවාදය

සමාජ විකාශනාත්මකවාදය 
KLN.AC.LK 

රාජ්‍යයේ උපත පිලිබද සාකච්ඡා කරනු ලබන මතවාදයක් ලෙස සමාජ විකාශනාත්මකවාදය හදුන්වාදිය හැකිය. නිශ්චිත එක් කර්තෘවරයෙකු නොමැති නමුදු යුරෝපය තුල ක්‍රමිකව විකාශනය වූ න්‍යායක් ලෙස දැක්විය හැකිය.

මහාචාර්ය ගානර් පෙන්වාදුන් ආකාරයට රාජ්‍ය යනු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් හෝ අසහාය බලයෙන් යුතු පුද්ගලයෙකුගේ බලය මතින් නිර්මාණය වූවක් හෝ සමාජය තුල ඇති වූ සම්මුතියක හෝ ගිවිසුමක ප්‍රතිඵලයක් නොවන අතර එය සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූවකි.
විකාශනාත්මකවාදයට අනුව ප්‍රථමයෙන්ම පවුලද පවුල් රැසක් එක් වීම තුලින් ග්‍රෝත්‍රයද ග්‍රෝත්‍ර, ග්‍රෝත්‍ර එක් වීම හරහා සමාජයද නිර්මාණය විය.සමාජය අතිශය සංකීර්ණ ආයතනයක් වන අතර එහිදී සමාජය තුල ගොඩනැගෙන සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වශයෙන් සමාජය තුලින් රාජ්‍ය නිර්මාණය විය.
  • පවුල 
  • ග්‍රෝත්‍රය 
  • සමාජය 
  • රාජ්‍යය
මෙලෙස රාජ්‍යයක් ලෙස මිනිසුන් ඒකරාශි වීමට බලපෑ සාධකයන් රාශියක් විය.එනම්
  • ඥාතීත්වය
  • ආගම
  • පොදු වාසස්ථානයක පදිංචි වීම
  • ආරක්ෂාව 
  • ආර්ථික අවශ්‍යතා
  • දේශපාලන හැගීම්
මෙම හේතු පදනම් කරගෙන නිර්මාණය වු රාජ්‍ය අද පවතින රාජ්‍ය නොවේ. විකාශනාත්මකවාදය තුල ආරම්භ වූ රාජ්‍ය ක්‍රමය නූතන ජාතික රාජ්‍ය දක්වා විකාශනය වී ඇත්තේ පහත දැක්වෙන ආකාරයෙනි.
  • ග්‍රෝත්‍ර රාජ්‍ය
  • පෙරදිග රාජ්‍ය
  • ග්‍රීක නාගරික රාජ්‍ය
  • රෝම අධිරාජ්‍ය
  • වැඩවසම් රාජ්‍ය
  • නූතන ජාතික රාජ්‍ය
සටහන :- අමිල නුවන් මධුසංඛ

Friday, August 21, 2015

රන් මුතු මැණික් බොරළු වැලි කැට කරනා අධ්‍යාපනය

රන් මුතු මැණික් බොරළු වැලි කැට කරනා අධ්‍යාපනය

උසස් පෙළ යනු මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ පවතින අතිශය තරඟකාරී මෙන්ම තීරණාත්මකම කඩඉමක් වග නොදන්නා අයෙක් නැත. ගොම රිටි උඩ පාවෙමින් මිණි මුතු යට යන සමාජයක මුතු මැණික් උඩ මතුවී ගොම රිටි යට යන ක‍්‍රමයක් නිර්මාණය වන්නේ උසස් පෙළ කඩයිම් ප‍්‍රතිඵලත් සමගිනි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ නියම සාරය හෙවත් දක්‍ෂයින් අතරින් අති දක්‍ෂයින් අතලොස්සක් උසස් අධ්‍යාපන වරම් හිමිකර ගනිමින් විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කර ගනිති. එය එතරම් පහසු කාර්යයක් නොවේ. සිහිනය යතාර්ථයක් කරගන්නට පිරිසක් සමත් වන විට තවත් පිරිසකට තම සිහිනය අතරමග හැරදමා යන්නට සිදු වෙයි. 

සිය දරුවා විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් බව දැනගත් අසරන මාපියන් සිතන්නේ ඉන්පසු ඔවුන්ගේ ජිවිත සැපවත් වන බවයි. සමස්ත විශ්වයම අතැඹුලක් සේ ඔවුන් අතට පත්වේ යැයි සිතන මාපියන් දකින්නේ සිහිනයක්ම බව පසක් වන්නේ වසර හතරක කලා උපාධි පාඨමාලාව අවසන් වීමටත් මත්තෙනි. එසේ වන්නේ මෙරට සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලියෙහි පවතින විශිෂ්ටත්වය නිසාවෙන් බව විශ්වවිද්‍යාලයන්හි කලා උපාධිය හදාරන  ඕනෑම විද්‍යාර්තියෙක් දන්නා සත්‍යයයි. ජපනුන් විසින් සිය අධ්‍යාපන ක‍්‍රමය තුලින් ගලවා දමන ලද කසි කබල් අධ්‍යාපන ක‍්‍රමයක් නිසාවෙන් මංමුලාවූ පාලක පන්තිය නුසුදුසු බව දැන දැනත් එය තවමත් මෙරට අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනු ලබයි. 


තමන් සිතූ පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔස්සේ සිය ජිවිතය ඒකාලෝක කරගන්නට නොහැකි වග අවබෝධකරගන්නා තරුණ ශිෂ්‍ය ප‍්‍රජාවගේ කඩා වැටෙන අසරණ ජිවිත වලට වගකියන්නට කිසිවකුත් ඇත්තේ නැත.
ඔහුට හෝ ඇයට හිමිවන්නේ සදාකාලික පසුතැවීමක් පමනකි. සිය අනාගතය වෙනුවෙන් දකිනා සියුමැළි සිහින දෙපා මුල වැටී විසිරී යන විට ඔවුන්ගේ ආත්ම ශක්තිය දියාරු වී යන්නේ ඔවුන්ටත් නොදැනීමය. පුරා වසර 13 ක් එක්ව අධ්‍යාපනය හැදෑරූ සිය මිතුරන් උසස් පෙළින් පසු විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලබා රැුකියාවක නිරතවන විට විශ්වවිද්‍යාලයන්හි කාලා පීඨවල සිසුහු  වේදනා සුසුම්ලන්නේ ඔවුන් කෙරෙහි ඊර්ෂ්‍යාවකින් නොව පවතින අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳව ඇතිවූ කළකිරීමෙනි. බොහෝ බටහිර රටවල තරුණයකු වයස 17 සම්පූර්ණ කරන විට උපාධියක් ලබා ගැනීම දක්වා දියුණු අධ්‍යාපන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වේ. නමුත් මෙරට උසස් අධ්‍යාපනය අවසන් කරන විට තරුණයින්ගේ ජිවිතයෙන් හරි අඩක්ම ගෙවී අවසන්ය. 


ඉන් පසු රැකියාවක් සොයා ගැනීමටත්, ඒ තුලින් ස්ථාවරත්වයක් හිමිකර ගැනීමටත් තව බොහෝ කල් බලා සිටීමට සිදුවේ. ආදරය පවුල් ජිවිතය විවාහය සහ බැඳ’ම් යන සියල්ලක්ම ඔවුන්ගේ ජිවිත වලට බොහෝ ඈතින් පිහිටන නිසා හැගීම් දැනීම් නැති ජාතියක් බිහිවන්නට එයම කමටහනක් වෙයි. මේ අන්දමින් මානසික තැවුලට පත් වෙන මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගත ඛේදවාචකයට වගකියන්නටවත් කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. ඔවුන් නගා සිටුවන්නට ද කෙනෙකු ඉදිරිපත් නොවේ. එසේනම් මේ සියල්ලට වගකියන්නට සිදුවන්නේ මුතු මැණික් බොරළු වැලිකාට කරනා අසාර්ථක අධ්‍යාපන ක‍්‍රමය නොවන්නේ ද ?

සටහන :- අමිල නුවන් මධුසංඛ
   

Friday, July 17, 2015

ටෙලි නාට්‍ය කලාව


ටෙලි නාට්‍ය කලාව

අපේ සන්නිවේදන ක්‌ෂේත්‍රය තුළ ඇසිදිසි මාධ්‍යයක්‌ හැටියට රූපවාහිනිය අත්පත් කරගෙන ඇති ප්‍රමුඛතාව අතිවිශේෂිතයි. ගෙදර පුංචි තිරය ලෙසින්ද ප්‍රකට රූපවාහිනී නාලිකා ඔස්‌සේ විකාශය වන වැඩසටහන් අතරින් ටෙලි නාට්‍ය ලබා ඇති පුරෝගාමිත්වයද සුවිශේෂීය. පවුලේ කාටත් කිසිදු අසහනයකින් තොරව එකට හිඳ නැරඹිය හැකි ටෙලි නිර්මාණයක්‌ වෙනුවෙන් එබඳු අඩපැයකට මිලියන තුන හතරක ප්‍රේක්‌ෂක පිරිසක්‌ එකතු වන බව සමීක්‍ෂණ මගින් තහවුරු වී ඇත. ජාතික හා ස්‌වාධීන රූපවාහිනී නාලිකා පමණක්‌ තිබූ අවධියේ මේ සංඛ්‍යාව මිලියන හය හත දක්‌වා ඉහළ ප්‍රතිශතයක පැවතුණි.

මෙබඳු අතිවිශාල ග්‍රාහක පිරිසකගේ ග්‍රහණයට නතුව පවතින ටෙලි නාට්‍ය වැඩසටහන් ප්‍රේක්‌ෂක ජනතාවගේ රසඥතාව හා කලාත්මක වින්දනය පෝෂ්‍ය කෙරේ නම් එම පසුබිම ගුණාත්මක ටෙලි නාට්‍ය සංස්‌කෘතියක වර්ධනයට ද ප්‍රබල සාධකයක්‌ වනු නිසැකය. හරවත් ටෙලි නාට්‍ය ඔස්‌සේ රූපවාහිනි ප්‍රේක්‌ෂකයන්ගේ බුද්ධිමය නිම්වළලු ප්‍රසාරණය කළ හැකිය. එසේම හරසුන් බොළඳ ටෙලි කතන්දර හරහා ප්‍රේක්‌ෂක රසභාවයන් මොට කර සිහින ලෝක වෙත කොටුකර තැබීම ද කළ හැකිය. වත්මනේ දැකිය හැකි මෙගා ටෙලි නාට්‍යවල සංඛ්‍යාත්මක වර්ධනය නිසා හරසුන් ප්‍රතිඵලය වඩා ඉස්‌මතු වී පෙනෙන බවට චෝදනාවක්‌ නැගේ. එසේම මෙගා ටෙලි නිසා මෙගා නොවන ටෙලි නාට්‍ය හදන අයටත්, එම නළු නිළියන් ඇතුළු ශිල්පීන්ටත් අසාධාරණයක්‌ සිදුව ඇතැයි ද මැසිවිලි ඇසේ. ඊට හේතුව මෙගා නිසා විකාශන කාලය ලබා ගැනීමේ ගැටලුවයි. වෙළෙඳ දැන්වීම් අනුග්‍රහය සතියකට වරක්‌ පෙන්වන නාට්‍යයකට වඩා සතියේ දින පහේම විකාශය වන මෙගා ටෙලිවලට වැඩිපුර ලැබීමද තවත් හේතුවකි.

විද්යුත් මාධ්‍ය ආයතනවල පැවැත්ම සඳහා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙගා නාට්‍ය වෙනුවෙන් ප්‍රචාරණ නියෝජිත ආයතන මගින් ලබාදෙන දැන්වීම් සමූහය නිසා නාලිකාවල වාණිජ අරමුණු සාක්‌ෂාත් වන බව ඇත්තකි. එම පසුබිම මත දැන්වීම් අනුග්‍රහකත්වයක්‌ නොලැබෙන අධ්‍යාපන, සංගීතමය හා සංවර්ධනාත්මක වැඩසටහන් විකාශය කිරීමට රූපවාහිනි නාලිකාවලට අවකාශය සැලසෙන බව ද සත්‍යයකි. වාණිජ පරමාර්ථ මතම ක්‍රියාකිරීම නිසා ටෙලි නාට්‍ය නරඹන අතරතුර වැල නොකැඩී දර්ශනය වන දැන්වීම් රොත්ත නිසා ප්‍රේක්‌ෂක වින්දනයට සිදුවන බාධා පිළිබඳව වෙනම කතා කළ යුතුව ඇත.

නාලිකා රැසක විකාශනය වන බොහොමයක්‌ මෙගා ටෙලි කෘතිවල, ගුණාත්මක පැත්ත පිළිබඳ ගැටලු පවති. කලාත්මක නිර්මාණ හැටියට බැලුවත් ප්‍රශ්න තිබේ. රූපවාහිනී නාලිකා ගණනාවක්‌ තිබෙන නිසාත්, ඒවායේ විවිධ වැඩසටහන් විකාශය වන බැවිනුත් තෝරා බේරා වැඩසටහන් නැරඹීමේ අයිතිය නරඹන්නා සතුය. අසවල් ටෙලි නාට්‍ය හෝ වැඩසටහන අනිවාර්යෙන්ම බැලිය යුතුය යනුවෙන් අණ කිරීමක්‌ හෝ විධානයක්‌ රූපවාහිනී ප්‍රේකෂකයාට නොලැබේ. හරසුන් හෝ බොළඳ ටෙලි නොබලා රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමේ බලයත්, චැනලය මාරු කර වෙනත් චැනලයක තමන් කැමැති වැඩසටහනක්‌ නැරඹීමේ ආධිපත්‍යයන් හිමිව තිබෙන්නේ ප්‍රේක්‌ෂකයාටමය. එසේ නම් මෙගා ගැන, හරසුන් නාට්‍ය ගැන මැසිවිලි නැගෙන්නේ ඇයි විමසා බැලීම වටී.

සමහර ප්‍රේක්‌ෂකයන් සරල වින්දනයට කැමැතිය. යටි පෙළ, යටි අරුත, චරිතවල ඇතුළාන්තයට එබී බැලීමට ඇතැම්හු මනාප නොවෙති. විවෘත ආර්ථික රාමුව තුළ ජීවන බර දරමින්, විවිධ වෘත්තීන් වල නියුතු වුවත් අධික තෙහෙට්‌ටුව, මානසික සුවය පතා ලැබෙන විරාමයේදි තාවකාලිකව හෝ මනෝ රාජ්‍යයක තෘප්තිමත්ව ගත කිරීමට කැමැතිය. විශේෂයෙන් රැකියා කරන සමහර වනිතාවන් මෙන්ම නිවෙස්‌වල උදේ සිට රෑ වනතුරු දරුවන්ගේ සැමියාගේ කටයුතු සොයා බලමින් යුද්ධයක්‌ කරන කාන්තාවන්ද සරල වින්දනයක්‌ සහිත මෙගා ටෙලි බැලීමට මනාපය. යොවුන් වියේ නවක නළු නිළියන් රඟන ටෙලි නාට්‍ය නැරඹීමට ඇතැම් වැඩිහිටි පිරිමි අය පුදුම ආසාවක්‌ දක්‌වති.

ගුණාත්මක හා කලාත්මක ටෙලි කෘති නැරඹීමට කැමැති ප්‍රේක්‌ෂක පිරිසක්‌ද සිටිති. කළයුතුව ඇත්තේ මායා ලෝකවලට කොටුවී තාවකාලික සුවය විඳින කණ්‌ඩායමේ වින්දන ශක්‌තිය ඉහළ මට්‌ටමකට ගෙන ඒමේ ජාතික වගකීම ඉටුකිරීම සඳහා වූ ටෙලි නාට්‍ය සංස්‌කෘතියක්‌ ගොඩනැඟීමය. එහිදී මෙගා සහ මෙගා නොවන ටෙලි නාට්‍ය දෙවර්ගයටම ඉඩහසර ලබාදිය යුතුය. ඒ ප්‍රමිතිගත, සීමා යටතේය. ගුණාත්මක හා කලාත්මක පැත්තට බර තැබෙන මෙගා ටෙලි නාට්‍ය වුණත් යම් සීමා යටතේ විකාශය කිරීමේ වරදක්‌ නැත්තේ ඒ නිසාය.

අද ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රයට සම්බන්ධව සිටින නළු නිළියන් ඇතුළු ශිල්පීන් බහුතරයකගේ ප්‍රධාන ජීවන වෘත්තිය වන්නේ ටෙලිනාට්‍ය කලාවය. සුළු පිරිසකට පමණක්‌ නිවේදන කටයුතු හා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වරම් ලැබී තිබේ. දක්‌ෂ චරිතාංග රංගන ශිල්පීන් මෙන්ම ප්‍රවීණ ශිල්පීන් රැසකගේ ආර්ථිකය ර¹ ඇත්තේ අමාරුවෙන් හදන ටෙලි නාට්‍ය විකාශනය මතය. වැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ මෙගා ශිල්පීන් නොව සාමාන්‍ය ටෙලි කෘතිවලට බද්ධවන අයයි. ටෙලි අධ්‍යක්‍ෂවරු ද මීට අයත් වේ. මේ අනුව බලන විට ලක්‌ෂ සංඛ්‍යාත රූපවාහිනී ප්‍රේක්‌ෂකයන්ගේ ආදරයට පාත්‍ර වෙමින් ඔවුනට රසවින්දනයේ අවකාශය උදාකර දෙන මෙගා සහ මෙගා නොවන නිර්මාණවලට දායකවන සැමගේ ජීවන වෘත්තීය හා අනාගතය සුරක්‌ෂිත කරදීම ජාතික මෙහෙවරක්‌ ලෙස ද වැදගත්ය.

මෙවැනි වටාපිටාවක්‌ තුළ ටෙලි නාට්‍ය කලාවත්, ඊට ජීවය දෙන සියලු දෙනාත් ආරක්‌ෂා කිරීමට නම් මෙගා සහ කොටස්‌ අඩු ටෙලි නාට්‍ය විකාශනයේ වෙනස්‌කම් සිදුවීම අත්‍යවශ්‍ය කරුණකි. දැනට සතියේ දිනපහකම විකාශය කෙරෙන මෙගා ටෙලි නාට්‍යය සතියේ දින හතරක පමණක්‌ (සඳුදා සිට බ්‍රහස්‌පතින්දා දක්‌වා හෝ අඟහරුවාදා සිට සිකුරාදා දක්‌වා) විකාශය කිරීම, මතුව ඇති අර්බුදයට විසඳුමකි. එවිට සතියකට කොටස්‌ හතර බැගින් මාසයකට කොටස්‌ 16 ක්‌ විකාශනය කළ හැකිය. ඒ අනුව කොටස්‌ 100 ක පමණ ටෙලි කෘතියක්‌ මාස 06 ක කාලයකදී නිමාවනු ඇත. උපරිමය කොටස්‌ 200 ක්‌ නම් මාස 12 කදී අවසන් කළ හැකිය. මෙගා ටෙලියක උපරිම කොටස්‌ ගණන මෙසේ 200 කට සිමා කළ හැකි නම් බහුතර ටෙලි ශිල්පීන්ට වුවද අසාධාරණයක්‌ සිදු නොවේ. කොටස්‌ 100 යේ මෙගා නිර්මාණ සඳහා නිමැවුම්කරුවන් උනන්දු කළ යුතුය.

මෙවැනි තත්ත්වයක්‌ තුළ සතියේ දින 03 ක්‌ මෙගා නොවන විශේෂයෙන් කොටස්‌ 50 ට අඩු ටෙලි නාට්‍ය සඳහා විකාශන කාලය වෙන් කළ හැකිවේ. මෙම දින 03 සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා හෝ සෙන, ඉරිදා, සඳුදා විය හැකිය. සමීක්‍ෂණ මණ්‌ඩලවලින් ප්‍රශස්‌ත මට්‌ටමට නිර්දේශවන මෙබඳු ටෙලි නාට්‍ය සෙනසුරාදා හෝ ඉරිදා දිනවල රාත්‍රි 8.30 ට ජනප්‍රිය කාලය තුළ විකාශය කිරීම වැදගත් වේ. ඇතැම් නිර්මාණ විශිෂ්ට තත්ත්වයක පැවතුණද ළමා පරපුරට එතරම් ගෝචර නොවන විට එවැනි ටෙලි නාට්‍ය රාත්‍රි 9.30 ට පසු කාලයේ පෙන්වීම වඩා උචිතය. කොටස්‌ 200 ඉක්‌මවා විකාශය වූ බොහෝ මෙගා ටෙලි නාට්‍යවලට පාදක වී තිබුණේ ජනප්‍රිය නවකතාය. ජනප්‍රිය හෝ සම්මාන දිනූ නවකතාවක්‌ තුළින් වුවද උපරිම ලෙස කොටස්‌ 100 කින් හොඳ ටෙලි නිර්මාණයක්‌ කළ හැකිය. සාහිත්‍ය කෘතියක්‌ ඇසුරින් අඩු කොටස්‌ ගණනක්‌ යටතේ හරවත් නිර්මාණයක්‌ කළ හැකි බවට මෑතකාලීන හොඳම උදාහරණය වන්නේ ස්‌වාධීන රූපවාහිනිය මගින් ඉකුත්දා විකාශය අවසන් කළ සම්මානිත නවකතාවක්‌ පාදකව නිමවා තිබූ "ස්‌වයංජාත" ටෙලි නාට්‍ය කොටස්‌ 60 කට සීමා කර තිබීමය.

ප්‍රේක්‌ෂක රසභාවයන් අමතකකර, වාණිජ අරමුණු මුල්කර ගන්නා විට ඕනෑම කතා තේමාවක්‌ කොටස්‌ තුන් හාරසීය දක්‌වා හෝ නිර්මාණය කළ හැකිය. එසේ වුවද, ටෙලි නාට්‍ය කලාවේත්, එම කලා ශිල්පීන්ගේත් හෙට දවසේ අභිවෘද්ධිය අවංකව ප්‍රාර්තනා කරන්නේ නම් පොදුවේ ටෙලි ශිල්පීන් සැමට සුබසෙත උදාකරන විකාශන වැඩපිළිවෙළක්‌ දියත්වීම යුගයේ අවශ්‍යතාවකි.

සටහන :- අමිල නුවන් මධුසංඛ

Tuesday, July 14, 2015

පරිසරය සුරකින පනත්


පරිසරය සුරකින පනත්

වෙරළ සංරක්ෂණ පනත

•(1988 අංක 56 දරණ පනතින් හා වරින් වර අවස්ථා කිහිපයක දී සංශෝධනයට ලක් වූ 1981 අංක 57 දරණ පනත)

වෙරළ රුක ගැනීමට අවශ්‍ය වැදගත් නීති ප‍්‍රතිපාදනය වන්නේ වෙරළ සංරක්ෂණ පනත මගිනි.
රටේ සංවර්ධන ක්ෂේත‍්‍රය වර්ධනය වනවාත් සමග වෙරළ පද්ධතිය ශීඝ්‍රයෙන් දූෂණය වේ. මෙහිදී වෙරළේ ආරක්ෂාව සම්බන්ධව දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශය. සංචාරක හෝටල් සේවය නංවාලීමේ දී වෙරළ පිළිබඳ දැඩි අවධානයක් ලක් කෙරෙයි.
වරාය හා ධීවර වරායන් ඉදිවීමත් සමගම පරිසරයට හානිකර නොයෙකුත් ද්‍රව්‍යයන්ගෙන් හා ඉන්ධන වර්ග වලින් වෙරළ තීරයට හානි සිදුවේ. මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම මෙම පනතින් සිදුවේ.
වෙරළ සංරක්ෂණ පනත යටතේ කි‍්‍රයාත්තමක වන වෙරළ සංරක්ෂණ අධිකාරිය රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන තිබේ. මේ යටතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කෙරේ. නීතියෙන් අවසරයලත් සීමා හා කොන්දේසිවලින් ඔබ්බට ගොස් සිදු කරන ඉදිකිරීම් හා ව්‍යාපෘතීන් ද අවධානයට ලක් කෙරෙයි.

ධීවර හා ජලජ සම්පත් පනත

•(වර්ෂ 2006 අංක 22, 2004 අංක 4 හා 2000 අංක 4 පනත් වලින් සංශෝධනය වූ 1996 අංක 02 දරණ පනත)

මෙම පනතින් ධීවර හා ජලජ සම්පත් සම්බන්ධයෙන් බලපැවැත්විය යුතු නීතිමය ප‍්‍රතිපාදන සිදු කෙරෙයි. මෙහි ඇතුළත් සියලු නීති පරිසරය ආරක්ෂා වන ආකාරයෙන් සකසා ඇත. විශේෂයෙන් වෙරළ තීර කෙරෙහි ද, රටේ අභ්‍යන්තරයේ ඇති මිරිදිය ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ. මෙම පනතින් රීතින් පනවා පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු සලසා ඇත.
මුහුදු ජලය අපවිත‍්‍ර වීම වැළැක්වීමේ පනත



•(1981 අංක 59 දරණ පනත)

මෙම පනත් මූලික අරමුණ වී ඇත්තේ රට තුළ ඇති ජලය අපවිත‍්‍ර වීම වළක්වා ගැනීමය. විශේෂයෙන්ම මුහුදු ජලය අපවිත‍්‍ර වීම වළක්වාලීමට හා මුහුදු ජලය හා ඒ ආශි‍්‍රත වන අපවිත‍්‍රවීම් හා ජලය දූෂණය වීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය මෙරට කි‍්‍රයාත්මක කිරීම මෙම පනතේ මූලික අරමුණය.
මෙමගින් ජලය ආශි‍්‍රත පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රතිපත්ති සකස් කොට ඇත.
තුරුලතාවන්ට හා වන සත්ව ආරක්ෂාවට සම්බන්ධ පනත

•(1993 අංක 49 හා 1970 අංක 01 දරණ පනත්වලින් සංශෝධිත 1964 අංක 44 දරණ පනත)

මෙම පනත සංශෝධනය වී ඇත්තේ රට තුළ තුරැලතා හා වන සතුන් ආරක්ෂා කිරීම පිණිසය. දිනෙන් දින ඉහළ යන මිනිස් කි‍්‍රයාකාරකම් හා සාමාජීය සංවර්ධනය සමග වනාන්තර පද්ධතිය දැඩි තර්ජනයකට මුහුණ පා තිබේ. මිනිසාගේ ආහාර අවශ්‍යතා හා විවිධ හේතූන් නිසා වන සත්තු ද විශාල තර්ජනයකට මුහුණ පා සිටිති. තුරැලතා හා වන සතුන් පරිසරයේම කොටසකි. එහෙයින් ඒවායේ විනාශය වැළැක්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැකසීම මෙම පනත මගින් සිදු කෙරෙයි.

කැලෑ ආඥා පනත

•(1995 අංක 23, 1998 අංක 84 හා 1982 අංක 13 පනත්වලින් සංශෝධිත 1907 අංක 16 දරණ පනත)

මෙය ඉතා පැරණි පනතකි. මිනිස් කි‍්‍රයාකාරකම් හමුවේ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා කලින් කලට මෙම පනතෙහි සංශෝධන සිදු කර නීතිමය ප‍්‍රතිපාදන සකස් කර ඇත. විශේෂයෙන්ම වනාන්තර විනාශ කරන්නන්ගේ තරාතිරම හා අවශ්‍යතාව පිළිබඳව නොසලකා දඬුවම් දීමට හැකි ආඥා පනතක් ලෙස මෙය හැඳින්වෙයි. මෙම පනතේ මූලික අරමුණ වී ඇත්තේ ද පරිසරය ආරක්ෂා කර ගැනීමය.
පැළෑටි ආරක්ෂා කිරීමේ පනත

•(1999 අංක 16 දරණ පනත)

මෙම පනතින් සිදුවන්නේ ශී‍්‍ර ලංකාව තුළ සිදු කරන බෝග වගාවන්ට හානි කරන්නා වූ කුමන අන්දමේ ජීව ශාක කොටස් වර්ග වුවද රට තුළ පැතිර යාම වැළැක්වීම හා වගාබිම් විනාශ මුඛයට ඇද දමන ශාක වර්ගවලින් මෙරට බෝග වගා ආරක්ෂා කර ගැනීමය.
රට තුළට ගෙන එන විදේශීය ශාක වර්ග හා බීජ වර්ග හේතුවෙන් විවිධාකාර අහිතකර බලපෑම් සිදුවෙයි. එමගින් සමස්ත පරිසරයට එල්ල වන්නේ දැඩි තර්ජනයකි. මෙම පනතින් රට තුළ ඇති බෝග වගාව ආරක්ෂා කර ගැනීමට ප‍්‍රතිපාදන සකසා ඇති අතර එම ප‍්‍රතිපාදනවලට එරෙහි වන්නන් හට දඬුවම් ලබා දීමේ ක‍්‍රමවේදයක් ද සකසා තිබේ.

ගස් පෙරලීම පාලනය කිරිමේ පනත

•(වර්ෂ 2000 අංක 1 දරණ සංශෝධිත පනතින් සංශෝධනය වූ 1951 අංක 9 දරණ පනත)

කැලෑ ආඥා පනත තිබිය දීම මෙම පනත ගෙන ඒමේ මූලික අරමුණ වී ඇත්තේ ද වන සම්පත ආරක්ෂා කිරීමයි. මෙහිදී තව දුරටත් වෘක්ෂලතා ආරක්ෂා කර ගැනීමට සඳහා ප‍්‍රතිපාදන සකසා ඇත. මීට විරැද්ධව කටයුතු කරන්නන් හට දඬුවම් පැමිණවීමේ කි‍්‍රයාපටිපාටිය හොඳින් ආවරණය කර ඇත.
පස ආරක්ෂා කිරීමේ පනත

•(වර්ෂ 1996 අංක 24 දරණ හා 1953 අංක 29 දරණ පනත්වලින් සංශෝධිත 1951 අංක 25 දරණ පනත)
මෙම පනත ඇති කිරීමේ ප‍්‍රධාන අරමුණු වන්නේ පස ඛාදනය වීම වැළැක්වීම හා එය අවම කර ගැනීමට කටයුතු කිරීම යි. මිනිස් කි‍්‍රයාකාරකම් නිසා පසට ඇතිවන ඕනෑම බලපෑමක් තවත්වාලීම හා එසේ කරන පුද්ගලයන් හට දඬුවම් ලබාදීමට මෙමගින් හැකියාව ලැබේ.
පුරා වස්තු පනත

•(1998 අංක 24 පනතින් සංශෝධනය කරන ලද 1940 අංක 9 දරණ පනත)

පුරාවස්තු සංරක්ෂණය කොට ආරක්ෂා කරගැනීම උදෙසා මෙම පනත මගින් ප‍්‍රතිපාදන සකසා ඇත. විශේෂයෙන්ම 1998 සංශෝධන පනත ගෙන ඒමත් සමගම නීති ක්ෂේත‍්‍රය කැලඹීමකට ලක්විය. මන්ද මෙම පනතේ විධිවිධාන කඩකරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලැබෙන ආකාරය දක්වා ඇත. පරිසරය විනාශ මුඛයට ඇඳ දමමින් පුරා වස්තුවලට හානි පමුණුවන කවරකුට වුවද දැඩි දඬුවම් හා දඩ නියම කිරීම මෙමගින් සිදු කෙරෙයි.
කර්මාන්තශාලා ආඥා පනත

•(1976 අංක 12, 1971 අංක 29, 1965 අංක 17, 1961 අංක 54, 1946 අංක 22 පනත් මගින් සංශෝධිත 1942 අංක 45 දරණ පනත)

මෙම පනත මගින් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ ප‍්‍රතිපාදන සකස් කෙරෙයි. පරිසරයට හානි නොවන පරිදි ඒවා හැඩගස්වා ගැනීමට අවසර ලබා දීමට අවශ්‍ය නීති සමුදායක් හඳුන්වා දී තිබේ. කාර්මිකරණයට ලක්වන ලෝකයක් තුළ පරිසරය සුරුකීමට අවශ්‍ය නීතිතමය ප‍්‍රතිපාදන සකස් කිරීම මෙයින් සිදුවේ.

නාගරික සංවර්ධන අධිකාරි පනත

•(1978 අංක 41 දරණ හා 1979 අංක 70 පනතින් සංශෝධිත)

නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වාදෙන සැලසුම් දිරිගැන්වීම ද ආර්ථික, සමාජීය හා භෞතිකමය සංවර්ධනය ඇති කිරීමට මෙම පනත සම්මත කොට ගෙන ඇත. ඒ අනුව අනවසර ඉදිකිරීම් හා පාරිසරික හානිකර තත්ත්ව මගින් වන සැලසුම් ප්‍රතික්ෂේප කිරීමටත්, පනත උල්ලංඝනය කරමින් ක්‍රියා කරන්නන් හට විරැද්ධව නීතිමය පියවර ගැනීමට අධිකරණයට යොමු වීමේ බලය පළාත් පාලන ආයතන වෙත පවරා තිබීම වැදගත් කරැණකි.

නාගරික සංවර්ධන ආඥා පනත

•(1979 අංක 57 දක්වා වරින් වර 35 වරක් සංශෝධනයට ලක් වූ 1939 අංක 61 දරණ පනත)

මෙම පනතේ අරමුණ ශ්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන පිහිටුවිමය. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් ඇතිවන සංවර්ධනයක දී මහජනතාව වෙනුවෙන් සෞඛ්‍යමය හා පාරිසරික සංවර්ධනයට මෙමගින් ප්‍රතිපාදන සලසා ඇත.

නගර සභා ආඥා පනත

•(1947 අංක 29 දරණ පනත)

මෙම ආඥා පනතේ ප්‍රතිපාදන නාගරික පළාත් මත විහිදී ඒ අනුව ජනතාවගේ අවශ්‍යතා පරිදි සමාජමය, සෞඛ්‍යමය හා පාරිසරික සංවර්ධනය සිදුකිරිම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක කෙරෙයි.
132 පනතේ සිට විහිදී ඇති වගන්ති ගණනාවකින් පරිසරය ආරක්ෂා කිරීම හා ජනතා සෞඛ්‍යමය වර්ධනය කිරීම සඳහා වැදගත් ඇතිපාදන සකසා ඇත. මෙම ප්‍රතිපාදන එකිනෙකට බැඳී පවතින ප්‍රතිපාදන සමග එක්වී පරිසරයේ ආරක්ෂාවට විශාල දායකත්වයක් ලබාදෙයි.

ප්‍රාදේශීය සභා පනත

•(සංශෝධනය වී ඇත 1987 අංක 15 දරණ)

මෙම පතන මගින් එක් එක් ප්‍රදේශයට අයත් පරිසර තීන්දු තීරණ ගැනීමට ප්‍රදේශීය සභා පිහිටුවා ඇත. මෙහිදී සෞඛ්‍යමය වශයෙන් හා පාරිසරික වශයෙන් හිතකාමී ලෙස ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කළ යුතුය. දැනට පවතින මධ්‍යම පරිසර අධිකාරිය හා ප්‍රාදේශීය සභා අතර පරිසර සුරුකීමට ගන්නා වූ තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ඇත. ඒ අනුව පළාත් පාලන කටයුතුවලින් පරිසර ආරක්ෂාවට ඇති ප්‍රතිපාදන බොහෝ ඇත.

ජාතික උරැමයන් හා ප්‍රාදේශීය පිළිබඳ පනත



•(988 අංක 03 දරණ පනත)

මෙම පනත මගින් ශ්‍රී ලංකාව තුළ ජාතික උරැමයන් ප්‍රකාශයට පත් කිරීම මූලිකවම සිදු කරයි. ජාතික ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම නිසා ඒවා සංරක්ෂණය හා ආරක්ෂාව සිදුකිරීම ඇරඹුණි. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ ද ඒවාට අවසරය ලබාදීම පනතේ සීමාව තුළ සිදු නොවේ. මෙම පනත පාරිසරික ආරක්ෂාවට හා සංරක්ෂණයට ඇති තවත් ව්‍යාපෘතියකි.


අමිල නුවන් මධුසංඛ

ශ්‍රී ලංකාවේ ආදිවාසීන්

ශ්‍රී ලංකාවේ ආදිවාසීන්
 

විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.
                                               
ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. 
           
                                     
අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ.

අමිල නුවන් මධුසංඛ

Friday, July 3, 2015

ජ්‍යොතීර් විද්‍යාව අර්ථ දැක්වීම

ජ්‍යොතීර් විද්‍යාව අර්ථ දැක්වීම
 
මේ මහපොළාව ද හිරු වටා ගමන් කරන ග‍්‍රහලෝක අතුරින් එකෙකි. මේ සියළු ග‍්‍රහලෝකයෝ ද එකිනෙකා කෙරෙහි වූ ආකර්ශන ශක්තියෙන් බැඳුනෝ වෙති. සමහර ග‍්‍රහයන් වටා යන උප ග‍්‍රහයෝ ද වෙති. චන්ද්‍රයා පොළොව වටා යන උප ග‍්‍රහයෙකි. සූර්යයා මේ සියළු ග‍්‍රහලෝකයනට අධිපති ලෙසින් හදුන්වනු ලබයි. ග‍්‍රහයන්ගේ ගමනේදී ඔවුන් පොළවෙන් ඈත්වෙවී යන ප‍්‍රමාණය ද පොළවට ලංවෙවී එන ප‍්‍රමාණය ද අනුව පොළවට ඔවුන්ගෙන් වන බලපෑම වෙනස් වෙයි. දරුවකු මව් කුසින් බිහි වීමත් සමගම ඔහුගේ ශරීරය පවතින පරිසරයේ ග‍්‍රහ බලපෑමට අසුවෙයි. මෙය පදනම් කොට ගෙන එම ශරීරය පවතින තෙක්ම එයට ග‍්‍රහයන්ගේ බලපෑම ලැබේ.
ජ්‍යොතීර් විද්‍යාව යනු, තාරකා විද්‍යාවත්, භූගෝල විද්‍යාවත් පදනම් කර ගෙන ගණිත විද්‍යාවෙන් සකස්කරගෙන ඇති අතුරු විද්‍යාවකි. ජ්‍යොතීර් යනු, ආලෝකය හා බැබළීමයි. ග‍්‍රහලෝක හා තාරකාවන්ගේ බැබළීම පදනම් කරගෙන කරුණු ප‍්‍රකාශ කරන ක‍්‍රමයක් නිසා මෙයට ජ්‍යොතීර් ශාස්ත‍්‍රය යැයි කියනු ලැබේ. මෙය ප‍්‍රායෝගික විද්‍යාවක් නොවේ. ප‍්‍රායෝගික විද්‍යාවේදී හේතුව හා ප‍්‍රතිඵලය යන දෙකම එකිනෙකට ඔප්පු කළ හැකිය. එහෙත් ජ්‍යොතීර් ශාස්ත‍්‍රයේදී ප‍්‍රතිඵලය ගැන කියනවා විනා හේතුවක් පෙන්නුම් නොකරයි. එහි නිතරම සැඟවුන යමක් ඇත. එනිසා එය ගුප්ත විද්‍යාව ලෙස ද හදුන්වයි. ජ්‍යෝතිෂය මුල්කරගෙන වසර දහස් ගණනක් අනාගතයේදී සිදුවන සිදුවීම් විස්තර කළ හැකිය. මෙය හැරුණු විට අනාගතයේ සිදුවන සිදුවීම් ප‍්‍රකාශ කිරීමට ලොව කිසිදු විද්‍යාවක් නැත. එමගින් ආගතයේදී විය හැකි උවදුරු වලින් මිදීමට ද අනාගත දියුණුවට ද මග පාදා ගත හැකිය. මෙය මහත් ඵලදායී එකක් බැවින් ඈත අතීතයේ සිටම උගතුන් විසින් භාවිතයට ගෙන තිබේ.
මෙතරම් අගනා ශාස්ත‍්‍රය පිරිහී යාමට හේතු වී ඇත්තේ ඇතමුන් මෙහි මූලිකාංග පවා නොදැන පහසුවෙන් මුදල් උපයාගතහැකි ක‍්‍රමයක් ලෙස යොදා ගැනීම නිසාවෙනි. සමාජයේ ගැරහීමට හේතු වී ඇත්තේ ද මෙලෙස සිදු කරන බොරු අනාවැකි පල කිරීම්ය. ප‍්‍රකාශ කරන අනාවැකියක් වරදින්නේ ශාස්ත‍්‍රයේ ඇති දුර්වලකම නිසා නොව ප‍්‍රකාශ කරණු ලබන පුද්ගලයාට ඒ පිළිබඳව පවතින දැනුම මදිකම නිසාය. මේ අනුව පෙනී යන්නේ  ජ්‍යොතීර් ශාස්ත‍්‍රය යනු, ගින්දර මෙන් ප‍්‍රවේශමෙන් පරිහරනය කොට විපුල ප‍්‍රයෝජන ලබාගත හැකි විද්‍යාවක් වන බවයි. මෙය ඉතා සංකීර්ණය, පුළුල්ය. මෙය පරතෙරටම ඉගෙනගත්තෙක් මේ මිහිපිට නොමැත. යමෙක්  මේ ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරන්නේ යම්සේද ඒ ප‍්‍රමාණයටම තම ජිවිතය සාර්ථක කර ගැනීමට යොදාගත හැකිය. දහසක් බාධාවන් මැද අප ගෙවන මේ ජිවිතයේ නොයෙක් ප‍්‍රශ්න විසදා ගැන’මට ද මෙම ශාස්ත‍්‍රය උපයෝගී කරගත හැකිය. යමෙකුට කර්මානුරූපීව සිදුවන දෑ කල්තියා දැනගත හැකි එකම මාධ්‍යය මෙයයි.
මෙරට වැඩි දෙනා උනන්දුවක් දක්වන්නේ කේංද්‍රයක් බලා පලාඵල කීමට හෝ දැනගැනීමටයි. ජ්‍යොතීර් ශාස්ත‍්‍රය දැනගෙන කටයුතු කරන්නා මඟතොට තොරතුරු දැන තම  ජිවන ගමන යන්නෙකි. මෙමගින් මිනිසාට බොහෝ ප‍්‍රයෝජන ලබාගත හැකි නිසාම මානව වර්ගයා කෙරෙහි අපමන දයාවෙන් කටයුතු කිරීමට හැකියාවක් ලැබෙයි. ජ්‍යොතීර් විද්‍යාව ගොඩනැගී ඇත්තේ තංත‍්‍ර, හෝරා, සංහිතා යන අංගත‍්‍රය පදනම්කොට ගෙන්ය. විශ්වයේ සහ එහි ජිවීන්ගේ පැවැත්මෙහි සමතුළිතතාවය ක‍්‍රමවත්ව ගෙනයෑම සඳහා ග‍්‍රහ තාරකා ආදී අභ්‍යාවකාශ වස්තූන්ගේ චලනය මෙන්ම ඒවායින් නිකුත් කරන කිරණ ආදිය ද හේතුවන්නේය. සමතුලිතතාවය පැවැත්ම සඳහා සිදුවන ග‍්‍රහ තාරකා චලන මඟින් මිනිසා කෙරෙහි ඇතිවන බලපෑම ජ්‍යොතීර් විද්‍යාවට අනුව වටහාගත හැකිය. වර්තමාන ලෝකය දෙස බලන විට පෙනී යන්නේ මිනිසා වැඩි වශයෙන් ජ්‍යොතීර් ශාස්ත‍්‍රය කෙරෙහි යොමු වී ඇති බවයි. කෙසේ නමුත් බොහෝ දෙනා මෙම ශාස්ත‍්‍රය භාවිත කරන්නේ ලාභ ප‍්‍රයෝජන අරමුණු කරගෙනය. නමුත් සිදුවිය  යුත්තේ මෙම අගනා විද්‍යාව නිවැරදි ලෙස භාවිත කරමින් මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් යොදා ගැනීමයි. එය අනාගත ලෝකය වාසනාවන්ත කරනු ඇත.

අමිල නුවන් මධුසංඛ