දොරකඩ අස්න

Friday, July 3, 2015

ලක්බිම දිනපතා පුවත්පතේ ජ්‍යොතිෂය භාවිතය

ලක්බිම දිනපතා පුවත්පතේ ජ්‍යොතිෂය භාවිතය පිළිබඳව අස්විද අතිරේකයේ සංස්කාරක ඞී.ඞී චමින්ද වික‍්‍රමරත්න සමඟ කල කෙටි සංවාදයක්

  • ලක්බිම දිනපතා පුවත්පත් අතරට අස්විද නමින් ජ්‍යෝතිෂමය අතිරේකයක් ඇතුලත් කිරීමේ පරමාර්ථය කුමක්ද ?
ලක්බිම, අපේ පුවත්පත් නිරන්තරයෙන්ම අලූත් වෙනවා. සාමාජිය වෙනස්වීම් ඔස්සේ වගේම පාඨක ප‍්‍රතිචාර අනුවත් පුවත්පතේ හැඩය අපි නිරන්තරයෙන්ම වෙනස්වීම් වලට භාජනය කරනු ලබනවා. අස්විද අතිරේකය එහි එක් ප‍්‍රතිඵලයක්. අපේ රටේ පාඨක රුචිය විවිධයි. ඔවුන්ගේ කැමැත්තට අනුව අපි දිනපතා පුවත්පත් අතරට විශේෂ අතිරේක පහක් එකතු කලා. චමත්කාර සමුදුර ප්‍රෝටෝන් ප‍්‍රතිභා වගේම අස්විද යනු, බදාදා ලක්බිම සමඟ නිකුත්කරන විශේෂ අතිරේකයයි. ජ්‍යෝතිෂය හා ගුප්ත ශාස්ත‍්‍රය වගේම ආයූර්වේදයට කැමැත්තක් දක්වන පාඨක පිරිස් වෙනුවෙන් වගේම නව වෙනසක අවශ්‍යතාවය දැනුන නිසයි අපි අස්විද විශේෂ අතිරේකය ඇරඹුවේ.
  • පුවත්පතේ ඉලක්කගත ග‍්‍රාහක පිරිස කවුරුන්ද ?
මෙහෙමයි, අපිට නිෂ්චිත වශයෙන්ම ඒක කියන්න බැහැ. මොකද ජ්‍යෝතිෂයට කැමති බාල තරුණ මහළු බොහෝ දෙනෙක් අපි වටා ඉන්නවා. ඔවුන්ගේ පුවත් පිපාසාව සංසිඳුවන්නයි මේ අතිරේකය ආරම්භ කළේ. අපට ලැබෙන පාඨක ප‍්‍රතිචාර වලින් කියන්න පුළුවන්, තරුණ පිරිස් වැඩි වශයෙන් අපි වටා ඉන්නවා කියලා. විශේෂිත ඉලක්කගත ග‍්‍රාහක කොටසක් නැති වුනත් සමස්ථ ලක්බිම පාඨකයින් තමයි අපේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ.
  • අස්විද විශේෂ අතිරේකයේ පිටු සැකැස්ම හා වර්ණ භාවිතය පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?
එය හරිම සුවිශේෂී කාරණයක්. මොකද අපේ සෑම අතිරේකයක් සඳහාම වෙන් වෙන් වශයෙන් සංස්කාරකවරු සහ පිටු සැකසුම් ශිල්පීන් සිටිනවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නෙ නැවුම් වෙනසක්. විශේෂ අතිරේක සෑම එකක්ම පාහේ වර්ණ පිටු වලින් යුක්තයි. වැඩි වශයෙන් පාඨකයාගේ ඇස යන වර්ණ භාවිත කරන්න අපි නිතරම උත්සාහ කරනවා. රතු කොල නිල් කහ දම් කළු සුදු ආදී විවිධ වර්ණ අපි භාවිත කරනවා. පාඨක ආකර්ෂණය හා රුචිය වැඩි කරන්න අපි රූප සටහන් හා චිත‍්‍ර භාවිත කරනවා. මෙහිදී භාවිත කරන ෆොන්ට් වර්ගද එකකට එකක් වෙනස්. සිරස්තල සඳහා එක් අකුරු ආකෘතියකුත්, විශේෂාංග සඳහා වෙනමඅකුරු ආකෘතියකුත් භාවිත කරන්න අපි කටයුතු කරල තියනවා. මෙහි පිටු සැකසුම චිරාත් විදර්ශන විසින් සිදුකරනවා.
  • පුවත්පත සඳහා ලිපි ලබාගන්නේ කෙසේද ?
පුවත්පතේ පලවන ලග්න පලාඵල විශේෂාංගය සෑම දිනකම ලබා දෙන්නේ ප‍්‍රවීන ජ්‍යොතීර්වේදී සමන් කළුආරච්චි මහතා විසින්. ඊට අමතරව පලවන සෑම ලිපියක්ම පාඨක ඉල්ලීම් සලකා බලා ඒවාට අනුව සකස්කළ ඒවායි. එසේම මෙහි තිබෙන විශේෂත්වය තමයි ජ්‍යෝතිෂය හා ආයූර්වේදය පිළිබඳව කැමැත්තක් හා දැනුමක් තියෙන අයට අප වෙත ඔවුන්ගේ ලිපි යොමුකරන්න පුළුවන්. විද්වත් මණ්ඩලයක් විසින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අපි සැළකිය යුතු මට්ටමේ ලිපි පලකරනවා.
  • අතිරේකය සඳහා ලැබෙන පාඨක ප‍්‍රතිචාරය කෙබදුද ?
ඒ ගැන කියන්නත් සතුටුයි. අනෙකුත් විශේෂ අතිරේක සමඟ සංසන්දනය කරන විටඅස්විද අතිරේකයට ඉතා හොද පාඨක ප‍්‍රතිචාරයක් ලැබෙනවා. අපිට ලැබෙන ලිපි, ගැටළු හා අදහස් වලින් ඒක හොදටම පැහැදිළි වෙනවා. තරුණ ප‍්‍රජාව වැඩි පිරිසක් අපි එක්ක ඉන්නවා. අපිට ගැටළු හා අදහස් එවන පිරිස් අතර තරුණ පිරිස වැඩියි. ඒ කෙසේ වෙතත් කොයි කා අතරත් අස්විද අතිරේකය ජනප‍්‍රියයි කියලනම් කියන්න පුළුවන්. එහෙම නැතිනම් ඒක අපිට මේ වෙනකම් පවත්වාගෙන එන්න පුළුවන්කමක් නැහැනෙ.
  • එතරම් හොද පාඨක ප‍්‍රතිචාර තිබියදීත් අතිරේකය එක් පිටුවකට සීමා කලේ ඇයි ?
අපි නිතරම හොද දේ පාඨකයා වෙනුවෙන් ලබා දෙන්නයි උත්සාහ කරන්නේ.  ඕනෑම දෙයක්  ඕනෑවට වඩා වැඩියෙන් තිබුනම ඒකෙ අගයක් නැතිවෙනව. ඒ නිසා අපි පාඨකයාට දැනගැනීමට අවශ්‍යයයැයි හැගෙන දේ පමනක් කෙටියෙන සංක්‍ෂිප්තව ඉදිරිපත් කරනවා.
  • අතිරේකය සඳහා වෙළඳ දැන්වීම් භාවිත කිරීමේ ප‍්‍රවනතාව කෙබඳුද ?
සාමාන්‍යයෙන් අපි විශේෂ අතිරේක වල කිසිම විටෙක වෙළඳ දැන්වීම් පලකරන්නේ නැහැ. ඒ සඳහා පුවත්පතේ වෙනත් කොටස් උපයෝගී කරගන්නවා. අතිරේක වෙන්වෙලා තියෙන්නෙ පාඨක රසවින්දනය වෙනුවෙන්ම විතරයි. පාඨකයන්ගේ උසස් රසවින්දනයට බාධා කරන්න හැම තැනකම වෙළඳ දැන්වීම් දමන්න අපිට අවශ්‍ය නැහැ.
  • අතිරේකය සඳහා විශේෂාංග රචකයින් තෝරා ගන්නේ කුමන පදනමකින් ද ?
වැදගත් ප‍්‍රශ්නයක්. අපි අපේ පුවත්පතේ පලවන සෑම විශේෂාංගයක් පිළිබඳවම ඉතාමත් සැළකිලිමත්.  ඕනෑම අයකුට පදනමකින් තොරව ලිපි පලකරවාගන්න අමාරුයි. ඒ සඳහා නිෂ්චිත ක‍්‍රමවේදයක් අපි භාවිත කරනවා. විවිධ ලේඛකයන් විසින් එවන සෑම ලිපියක්ම පාහේ අපි විද්වත් මණ්ඩලයක අධීක්‍ෂණයට යොමු කරනවා. විශේෂාංගයක් පලකරන විට එහි අන්තර්ගතය පිළිබඳව අපි නිරන්තරයෙන් සැළකිලිමත් වෙනවා. ආයතනයේ යම් යම් අවශ්‍යතා ද මෙහිදී සළකා බලනවා. හොද ලිවීමේ හැකියාවක් තියන, විෂය පිළිබඳ පුළුල් අවබෝධයක සහිත රචකයන්ගේ විශේෂාංග වලට වැඩි ඉඩක් වෙන් වෙලා තියනවා.
  • අස්විද පුවත්පතේ පලවන අනාවැකි පිළිබඳව වගකීම බාරගන්නේ කවුද ?
මෙහෙමයි, ඒ වගකීම සංස්කාරකවරයා වශයෙන් අවසානයේ මට තමයි බාරගන්න වෙන්නෙ. නමුත් අපි ඒ සඳහා තෝරාගෙන තිබෙන සමන් කළුආරච්චි නමැති ප‍්‍රවීන ජ්‍යොතීර්වේදියා විෂය පිළිබඳව පුළුල් දැනුමක් ඇත්තෙක්. ඔහු පලකරන ලග්න පලාඵල පිළිබඳව අපේ පාඨකයින්ට හොද විශ්වාසයක් තියෙනව. එය තවත් පුවත්පතක් හා සංසන්දනය කරන විට යම් තරමකින් වෙනස් වෙන්න පුලූවන්. නමුත් මට ඔහුව විශ්වාසයි. ඒ වගකීම මම බාරගන්නවා.
  • මේ ඔස්සේ සමාජයට යම් බලපෑමක් වෙලා තියෙනවද ?
පැහැදිළිවම. අද සමාජය තුලජ්‍යෝතීෂය පිළිබඳව ලොකු කතිකාවතක් ඇතිවෙලා තියනවා. මිනිස්සු කැමතියි තමන්ගෙ අනාගතය පිළිබඳව කල් තියා දැනගන්න. ඒ නිසා ඔවුන් ජ්‍යෝතිෂමය කාරණා සම්බන්ධයෙන් වෙනදාට වඩා සජිවීයි. ඒ සම්බන්ධ ජනමාධ්‍ය වෙත ඔවුන් වැඩියෙන් නැඹුරු වෙලා. පුවත්පත පැත්තෙන් ගත්තත් එහෙමම තමයි. මේ විදියට ජ්‍යෝතිෂය සම්බන්ධ අතිරේකයක් පුවත්පතට එකතුකරල තියෙන්නෙත් ඒ නිසාමයි. ආර්ථික වාසි තකා සමහර පුද්ගලයන් ජ්‍යෝතිෂය වැරදි විදියට භාවිත කරනව. නමුත් යහපත් අරමුණෙන් මෙය සිදුකළහොත් සමාජයට යහපත් බලපෑමක් සිදුකළ හැකියි.
 
 සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ

No comments: