පරිසරය හා මිනිසා අතර ඇති සම්බන්ධය.
පරිසරය සජීවීය. එය සම්පතකි. පරිසරය නම් වූ එම සජීවී සම්පත නොතිබුනි නම් මානවයාද අද නැත. එපමනටම පරිසරය හා මානවයා අතර ඇත්තේ නොබිඳිය හැකි බැඳීමකි. සබඳතාවයකි. මිනිසා තමා වටා ඇති සියළුම භෞතික අභෞතික දෑ පරිසරය ලෙස හදුනාගන්නා අතර පරිසරය අසීමිතව තම පැවැත්ම උදෙසා ප්‍රයෝජනයට ගනී. පරිසරය නම් සම්පතද ක්ෂය වීම සාමාන්‍ය සිදුවීමකි. ක්ෂය වන්නේ පාරිසරික සම්පත් පමනක් යැයි සිතා මානවයාට තම සිත රවටාගත නොහැකිය. මන්ද යත් එ් හා සමගම මානවයාගේ පැවැත්ම ද තීරණය වන බැවිනි.
මිනිසා පාරිසරික නිර්මිතයක් බැවින් ක්ෂය වන පරිසරය ආරක්ෂා කිරීමේ අමිල මෙහෙවරට මානවයාට අනිවාර්යයෙන්ම මැදිහත් වීමට සිදුවේ. රතු ඉන්දියානු නායක සියැටල් 1854 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිට යවන ලද ලිපිය පරිසරය සම්බන්ධව වැදගත් කතාවක් ලොවට කියාදෙයි. බොහෝ පරිසර විද්‍යාඥයන්ගේ අවදානයට ලක් වූ එම ලිපිය පිළිබඳව නැවත සිතා බැලීමට කාලය එළබ ඇත. මිනිසා හා පරිසරය අතර පවතින පාරිශුද්ධ වූ සබැඳියාව එතුළින් මොනාවට පැහැදිළි කරයි.
අපට පූජනීය වස්තුවක් වන මෙම භූමියේ ඇළ දොළ දිගේ පළිඟු කැට මෙන් දිදුළමින් ගලා බසින ජලය නිකම්ම දිය දහරක් නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. යනුවෙන් සියැටල් කීහ. එපමනක් නොව මේ ගංගා අපේ සහෝදරයන්ය. ඔවුහු අපේ පිපාසය සංසිªවති. අපේ ඔරු පාරු එහා මෙහා ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති.වැඩිදුරටත් ප්‍රකාශ කළ ඔහු මිනිසා මහ පොළවට අයිති වුවත් මහ පොළව මිනිසාට අයිති නොවන බවද එ් ලිපියෙන් ප්‍රකාශ කර ඇත. අප මෙම මිහිතලයේ, පරිසරයේ භාරකරුවන් පමනක් වන හෙයින් පරිසරය කෙලසීමට අපට වරම් නැත.පරිසරය අපේ මුතුන් මිත්තන් සුරක්ෂිතව දායාද කොට දුන්නා සේම අපද අපේ අනාගත පරපුරට එය සුරක්ෂිතව උරුම කර දිය යුතුය.
උක්ත ප්‍රකාශය සියැටල් කළේ 1854 දීය. නමුත් අද අප එය කියවන්නේ අභාග්‍යසම්පන්න පරිසරයක සිටයි. පාරිසරික දායාද අපේ සහෝදර සහෝදරියන් ලෙස ලේ බැඳීමකට සියැටල් සමාන කළ ද අප එ් ලේ බැඳීම පළුදු කොට හමාරය. මිනිසා හා පරිසරය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබඳතාවයකි. මිනිසා මුළුමනින්ම පරිසරයෙන් යැපෙන අතර ඔහු බොහෝ පාරිසරික වෙනස්කම් ද ඇති කරයි. මේ නිසා මිනිසා ද පරිසරයේ කොටසක් වෙයි. මිනිසා හා පරිසරය අතර ඇති සම්බන්ධය විද්‍යාත්මකව මෙසේ දැක්විය හැකිය. එනම්,
මිනිසා හා භෞතික පරිසරය අතර පවතිනි සම්බන්ධය
දෙශගුණය
පස, ජලය
භූ විද්‍යාත්මක හා භූ රූප විද්‍යාත්මක සාදක
ජෛව විද්‍යාත්මක සාදක සමඟ දක්වන සම්බන්ධතාව ය.
මිනිසා හා සංස්කෘතික පරිසරය අතර පවතින සම්බන්ධතාවය
ආර්ථික
සමාජ, දේශපාලන
ආගමික හා භාෂා සාධක සමඟ දක්වන සම්බන්ධතාව ය.
මිනිස් ජීවිතය ගලන ගඟක් නම් පරිසරය ගං ඉවුරයි. මිනිස් ජීවිතය ගැයෙන ගීතයක් නම් පරිසරය එහි මිහිරි තනුවයි. එබැවින් පරිසරය හා මිනිසා අතර පවතින සම්බන්ධතාවය වෙන් කළ නොහැක්කකි. එය මේ විශ්වය පවතින තුරු එලෙසම පවතිනු ඇත.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment