දොරකඩ අස්න

Tuesday, July 7, 2015

මම හොදම නිළිය වෙන එක කාටවත් වලක්වන්න බැහැ..

මම හොදම නිළිය වෙන එක කාටවත් වලක්වන්න බැහැ..
සොනක්‍ෂි සිංහා


මේ දවස් වල බොලිවුඞ් පුරවරයේ නමක් හදාගන්න දක්‍ෂතාවය, ලස්සන කියනදේට වඩා පවුල් පසුබිම ගොඩක් බලපානවා. ඒ වගේ බොලිවුඞ් පුරවරයට නෑකම් කියන පවුලකින් පැවත එන යෞවනයේ ආකර්ශනීයම සුන්දර තාරකාවක් ගැන තමයි අද ඔයාලට කියන්න යන්නෙ. ඒ වෙන කවුරුත්ම නෙවෙයි. ඔයාල හොදින් දන්න කෙනෙක්. සොනාක්‍ෂි සිංහා. තමන් රඟපෑ පළමු චිත‍්‍රපටයෙන්ම නැගී එන නිළියට හිමි සම්මානය දිනාගත්තු සොනාක්‍ෂි අද බොලිවුඞ් වල කථාබහට ලක්වෙන චරිතයක් වෙලා. ඩබාන්ග්, රව්ඩි රතෝඩි, ජෝකර්, සන් ඔෆ් සර්දාර්, ලූතෙරා රාජා, බොස්, බුලට් රාජා, ආර් රාජ් කුමාර් මෙන්ම ඇක්ෂන් ජැක්සන් සහ තෛවාර් කියන චිත‍්‍රපටි සොනක්‍ෂිගෙ දක්‍ෂතාවය මොනතරම්ද කියල අපිට පෙන්වනව. ඒ වගේම මේ වසරේ තිරගත වෙන්න නියමිත අකිරා චිත‍්‍රපටයත් සුපර් හිට් එකක් වෙයි කියලයි සොනාක්‍ෂි කියන්නෙ. බොලිවුඞ් වල අනාගතේ බාරගන්න ඉන්න මේ සුරූපී නිළිය පහුගිය දවසක මාධ්‍ය සාකච්ජාවකට මුහුණ දුන්නෙ මෙන්න මෙහෙමයි. 

මේ දවස්වල ඔබ කලහකාරී විදිහට හැසිරෙනව කියන්නෙ ඇත්තද...?
ම්...ම්... ඔව් ඔව් මම මේ දවස්වල ටිකක් විතර කලහකාරී වෙලා තමයි ඉන්නෙ. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. මගේ අලූත්ම චිත‍්‍රපටය අකිරා වෙනුවෙනුයි මම කලහකාරී වෙලා ඉන්නෙ. ඒ වෙනුවෙන් මට සටන් පුහුණු වෙන්නත් සිද්ධවුනා. මට වගේම මගේ රසිකයින්ටත් ඒක වෙනස්ම අතිදැකීමක් වේවි. 

මොකක්ද මේ අර්ජුන් කපූර් එක්ක තියෙන පටලැවිල්ල...?
මොන පටලැවිල්ලක් ද...? අපි අතර එහෙම කිසිම දෙයක් නැහැ. මම එයත් එක්ක තෛවාර් චිත‍්‍රපටයේ එකට වැඩ කළා. අර්ජුන් ගොඩක් දක්‍ෂයි. ඒ වගේම අපි දෙන්න තිරයේ හොද පෙම්වතුන් කියල ගොඩක් අය කියනව. එහෙම නැතිව මට අර්ජුන් ගැන විශේෂ හැගීමක් නැහැ

සමකාලීන නිළියන් එක්ක ඔබ වැඩි කථාබහක් නෑ කියන්නෙ ඇත්තද...?
ක්‍ෂේත‍්‍රයෙන් පිට මට යාලූවො ගොඩක් ඉන්නව. සිනමා ලෝකෙනම් ඒ තරම් ලගින් ඇසුරු කරන යාලූවො නෑ. මම කවුරු එක්ක ගනුදෙනු කරත් අතේ දුරින් ඉන්නෙ. එතකොට ප‍්‍රශ්න අඩුයිනෙ. ඒත් මම ආඩම්බරකාර චරිතයක්නම් නෙමෙයි. වැඩ කරන වෙලාවට හැමොමත් එක්ක සහයෝගයෙන් ඉන්න මම දන්නව. 

බිකිනි අඳින්න අකමැති ඔබට හැඩැති සිරුරක් නැති නිසා නේද...?
මම පිළිගන්නව. මම ටිකක් මහතයි තමයි. ඒ වුනත් මම කැත කෙල්ලෙක් නෙමෙයි. පෞද්ගලිකව මම බිකිනි අඳින්න අකමැතියි. ඒක නිසා චිත‍්‍රපටි වල අඩනිරුවතින් ඉන්න මම සූදානම් නැහැ. බිකිනියකින් කරන්න පුළුවන් දේ මම සාරියකින් කරල පෙන්නල තියෙනව රාජ් කුමාර් චිත‍්‍රපටයෙදි. 

පහුගිය දවස් වල ඔබ රඟපෑ බොහොමයක් චිත‍්‍රපට අසාර්ථක වුනා...
හැමදාමත් සාර්ථක වෙන්න බැහැනෙ. මිනිස්සුන්ගේ ජිවිතේ අසාර්ථක වෙන අවස්ථාවන් පවා තියෙනවා. ඒක මම තේරුම් අරගෙනයි ඉන්නෙ. පහුගිය දවස්වල මම එක දිගටය වැඩ කළා. චිත‍්‍රපටිත් එක දිගට තිරගත වුනා. තෛ්වාර් චිත‍්‍රපටය අසාර්ථක එකක් කියල කියන්න බෑ. ඒක ගොඩක් හොද එකක්. පේ‍්‍රක්‍ෂකයො ඇයි ඒ චිත‍්‍රපටය ප‍්‍රතික්‍ෂේප කළේ කියන එක මටත් ලොකු ප‍්‍රශ්නයක්. 

සමහරු කියනවා දැන් ඔබේ කාලය අවසන් කියලා...
කවුද එහෙම කියන්නෙ...? ඒක මෙන තරම් බොළඳ කථාවක් ද...? මේ මගේ ආරම්භය විතරයි. මට තව යන්න ගොඩක් දුර තියෙනව. මම දවසක හොදම නිළිය වෙන එක වලක්වන්න කිසිම කෙනෙකුට බැහැ. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙනව. ඔයවගේ කථා කියන අයට හිතාගන්න බැරි වේවි ඒ දවසට. 

ශාහිඞ් කපූර් ඔබේ පෙනුමට අකමැතියි කියන්නෙ ඇත්තද...? 
ඒක ඉතින් අහන්න  ඕනි එයාගෙන්ම තමයි. මම හිතන්නෙ නැහැ ශාහිඞ් එහෙම කථාවක් කියයි කියල. මගේ ලස්සන හොයනවට වඩා එයාට කරන්න වෙන වැඩ තියෙනව.  ඕව මිනිස්සු අපිව කොටවන්න කියන කථා. 

පවුල් බලයක් නැතත් දීපිකා, කත‍්‍රිනා වගේ නිළියො ඔයාට වඩා ඉදිරියට ගිහින්...
දක්‍ෂතාවය, හැකියාව වගේම වාසනාවත් ඒකට තියෙන්න  ඕනි. මගේ අම්මයි තාත්තයි සිනමාවට සම්බන්ධයි කියල මම ආඩම්බර වෙන්නෙ නැහැ. මගේ ඉදිරි ගමන තීරණය කරන්නෙ ඒ දේවල් නෙමෙයි. මගේ කැපවීමයි. දීපිකාගෙවත් කත‍්‍රිනාගෙවත් ජනප‍්‍රියත්වය මගේ ගමනට බාධකයක් නෙමෙයි. 


ජනප‍්‍රිය නළුවො එක්ක රඟපාන්න ඔබ ගොඩක් කැමතියිලූ නේද...?
එහෙම විශේෂයක් නැහැ. සල්මන් ඛාන්, අජේ දේව්ගන්, ආක්‍ෂය කුමාර් කියන ප‍්‍රවීනයො එක්ක වගේම අර්ජුන් කපූර්, ශාහිඞ් කපූර්, රන්වීර් සිං වගේ අලූත් පරපුරේ අයත් එක්කත් මම වැඩ කරල තියෙනවා. එමහර වෙලාවට ප‍්‍රවීන අයත් එක්ක වැඩ කරන එක ලේසියි. එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලූවන්. ශාරුක් ඛාන් වගේම අමීර් ඛාන් එක්ක රඟපාන එකත් මගේ ජිවිතේ එක සිහිනයක්.

අලූත් පරපුරේ අභියෝගයක් වෙන නිළියක් ඔබට ඉන්නව ද...?
කිසිම කෙනෙක් මට අභියෝගයක්නම් නෙවෙයි. මම කැමතියි මට මාවම අභියෝගයක් කරගන්න. අනෙක් අයත් එක්ක තරඟයක් මට නැහැ. අනික මට  ඕනි දේ මම කොහොම හරි ලබාගන්නව. එතනදි මම කාටවත් පරාද වෙන්නෙ නැහැ. 

සටහන :- අමිල නුවන් මධුසංඛ 

No comments: