දොරකඩ අස්න

Monday, June 15, 2015

කෝච්චියේ ජිවිත

kln.ac.lk
කෝච්චියේ ජිවිත



දවසේ පැය 24 න් වැඩිපුර කාලයක් ජිවිතේ ගැටගහගන්න සටන් කරන මිනිස්සු අතර ඉන්න හැමකෙනෙක්ම එකම වර්ගයේ කුඩා පොදු සාධකයක් තමයි. නමුත් අපිට ඒ අයව නොයෙක් කුලක වලටත් වෙන් කරන්න පුලූවන්. මේ අය අතර ලොකු වෙනසක් නොතිබුණත් පුංචිම වෙනසක් හරි දැකගන්න පුලූවන්. ඒක තමයි ඇත්ත. කොළඹ කියන්නෙ අපේ රටේ තියෙන ප‍්‍රධානම වෙළඳ නගරය. සමහරු හිතන්නෙ කොළඹ වැඩ කරන්නෙ කොළඹ කාෂ්ඨක පොළවෙ තෙම්පරාදු වෙච්ච මිනිස්සු විතරයි කියල. නෑ ඒක වැරදි කථාවක්. පෞද්ගලික හෝ වේවා රාජ්‍ය හෝ වේවා මේ  ඕනෑම සේවා ස්ථානයක වැඩ කරන්න දවසකට ලංකාවෙ හතර දිබ්බාගෙන් මිනිස්සු ලක්‍ෂ ගානක් කොළඹ නගරයට එනව. 
මේ අය කොළඹ නගරයට එන්නෙ කොහොම ද ? මේක ටිකක් අමුතු විදියෙ කථාවක් වගේම ප‍්‍රශ්නෙකුත් වෙනව. හැමෝටම තමන්ගෙ කියල වාහනයක් නැති නිසා ගොඩක් අයගෙ ජනප‍්‍රිය ප‍්‍රවාහන මාදිළිය වෙන්නෙ කෝච්චි. එහෙමත් නැත්නම් බස්. මේ දෙකෙනුත් කෝච්චි වල ගමන් කරන පිරිස වැඩියි. දවසේ පැය 24 ක් කෝච්චි ඇතුලෙ ගතකරන මිනිස්සුන්ගෙ ජිවිත දැන් කොච්චියටම හුරුවෙලා. මේ අමුතු ජිවිත ඇතුලෙ එයාලම වෙන් වෙච්ච අපූරු ජිවන අත්දැකීම් ඇති. ඒ වෙනස අත්දකින්න මමත් දවසක කෝච්චියකට ගොඩවුනා. 
කෝච්චියක යනව කියන්නෙ පුදුම අත්දැකීමක්. මගලගොඩ ස්ටේෂන් එකෙන් කොළඹ කොටුවට රුපියල් 20 ක් ගෙවල තුන්වෙනි පන්තියෙ ටිකට් එකක් ගත්තු මට ටික දුරක් යනකන් ඉදගෙන යන්න තැනක්නම් හමුවුනේ නැහැ. ඒ අතරෙ මට පුංචි කවි පදයක් මතක් වුනා. 
රටකජු රඹුටන් අරගෙන නාරන් 
කෝච්චියෙන් දැන් තාත්ත එනවා
ඒත් මේ කියන්න යන්නෙ ඊට ගොඩක් වෙනස් කථාවක්. කෝච්චියක් ඇතුලෙ සමාජ පන්ති තුනක් නියෝජනය වෙනව කියන එක නෝච්චියෙන් යන හැම කෙනෙක්ම දන්න කාරණයක්. ඒ තමයි ධනපති පන්තිය, මධ්‍යම පන්තිය සහ නිර්ධන පන්තිය. ඒ වුනත් කෝච්චිය ඇතුලෙනම් මේක  භාවිත වෙන්නෙ මේ විදියට නෙමෙයි. පළමු පන්තිය දෙවන පන්තිය තුන්වන පන්තිය කියල හඳුන්වන මේ පන්ති තුන ඇතුලෙ තියෙන්නෙ වෙනමම සංස්කෘතියක්. මේ අතරින් තුන්වෙනි පන්තිය ගොඩක් වෙනස්. කෝච්චියෙ පිටිපස්සෙන්ම තියන පෙට්ටි ඇතුලෙ අමුතු අමුතු දේවල් ගොඩක් සිද්ධවෙනව කියලයි බොහෝ දෙනා මගෙත් එක්ක කීවෙ. 
ජයරත්න...අවුරුදු 10 ක කෝච්චි ජිවිතේ අත්දැකීම් තියන කොළඹ පෞද්ගලික ආයතනයක රැුකියාවක් කරන මැදිවියේ පුද්ගලයෙක්. කෝච්චි ඇතුලෙ තමන් ලබපු අත්දැකීම් මගෙත් එක්ක බෙදාහදාගන්න ඔහු කැමති වුනා. 
අපි වගේ සාමාන්‍ය මිනිස්සු වැඩිපුරම යන්නෙ තුන්වෙනි පන්තියෙ කෝච්චි පෙට්ටි වල තමයි මල්ලි. සෙනග වැඩි වුනත් ගාන අඩුයිනෙ. අපිනම් හැමදාම යන හින්ද මාසෙම සල්ලි එකපාර දීල සීසන් එකක් ගන්නව. ඒක අපිට ගොඩක් පහසුයි.
ජයරත්න කියන්නෙ ඒ විදියට. අහිංසක අසරණ මිනිස්සු වගේම එක එක ජාතියෙ මානසික අසහනකාරයිනුත් මේ කෝච්චිවල තුන්වෙනි පන්තියෙ පෙට්ටි අතර අඩුවක් නැහැ. කෝච්චි පෙට්ටියෙ එකපැත්තක තරුණ යුවලක් පෙම් සුව විඳිනව. ඔවුන්ට භාහිර ලෝකෙ ගැන කිසිම හැගීමක් නැති හැඩයි. මේ දේවල් කෝච්චි ජිවිත ඇතුලෙ සාමාන්‍ය දේවල්. 
උදේට කෝච්චියෙ යනව කියන එක මාර කට්ටක් මල්ලි. මොනව කරන්නද ඉතින්. ඉක්මනට යන්න  ඕනි නිසා අපිත් යනව. සමහර කෝච්චි පෙට්ටි ඇතුලෙ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ. මේ වගේ වෙලාවල් වලට තමයි හොරුත් බොර දියේ මාළු බාන්නෙ. සෙනග අතරෙ ඉන්න ගෑනු කෙනෙක්ගෙ හරි පිරිමි කෙනෙක්ගෙ හරි මාලයක්, පර්ස් එකක් කඩාගෙන යන මිනිස්සු  ඕනි තරම් ඉන්නව. හොරකම් කරල කෝච්චියෙන් පනිනව කියන එක හොරුන්ට ඒ තරම් දෙයක් නෙමෙයි.
මේ වගේ අපූරු අත්දැක’ම් වලට මූණදීපු මිනිස්සු බොහෝ දෙනෙක් කෝච්චියෙදි මට මුණගැහුණ. පියතිලක කියන්නෙ ඒ වගේ කෙනෙක්. වේයංගොඩ ඉදල සතියෙ දවස් පහම මරදානට කෝච්චියෙන් එන පියතිලකටත් තිබුණ මගෙත් එක්ක කියන්න දේවල්. 
එකදවසක් මම ?වෙලා කෝච්චියෙන් යනකොට මා ලගට ආපු එක විදියක පිරිමි ළමයෙක් මට අමුතු විදියෙ යෝජනාවක් කළා. ඊලග ස්ටේෂන් එකෙන් බැහැල  ටිකක් වෙලා ඉදල යමු කියල. එතකොටයි මට වැඬේ තේරුනේ. ඒ ජාතියෙ මිනිස්සුත් මේවයෙ අඩුවක් නැහැ මහත්තයො.
කෝච්චි පෙට්ටි ඇතුලෙත් කපටි මිනිස්සු නැතුවම නෙවෙයි. තුන් වෙනි පන්තියෙ ටිකට් අරගෙන පළවෙනි පන්තියෙ හරි දෙවෙනි පන්තියෙ හරි යන මිනිස්සුත්  ඕනිතරම් ඉන්නව. නීතියෙ විදියට බැලූවොත් ඒක ලොකු වරදක්. අහුවුනොත්නම් ඒවගේ වැරදි කරන අයට සමාවක්නම් නැහැ. හොද දඩයකුත් කාලයි නතර වෙන්නෙ.
 එකිනෙකාගෙ මූණු බලාගෙන කෝච්චි පෙට්ටි ඇතුලෙ ගමන් කරන මිනිස්සු අතරෙ අලූත් අලූත් සම්බන්ධකම් එහෙමත්  ඕනිතරම් ඇතිවෙනව. ඒ වගේ එකතු වුන යුවලක් තමයි විහඟ සහ තරින්දි. 
අපි දැන් බැඳල මාස පහක් වෙනව මල්ලි. අපි දෙන්න වැඩ කරන්නෙ වෙනම ආයතන දෙකක වුනාට අපි හැමදාම ආවෙ ගියෙ එකම කෝච්චියෙ. අපි දෙන්න දැන අදුනගත්තෙ ආදරේ කළේ මේ කෝච්චි පෙට්ටි ඇතුලෙ. අපේ ජිවිත වලට මේ කෝච්චි පෙට්ටි එක්ක ලොකු සම්බන්ධකමක් තියෙනව.
ඔය මොන දේ සිද්ධවුනත් කෝච්චි පෙට්ටි ඇතුලෙදි වැඩිපුරම අපහසුතාවයට පත්වෙන්නෙනම් කාන්තා පා ර්ශවය තමයි. ඒක හැම තැනකටම පොදු දෙයක්. කල්‍යාණි කියන්නෙ කොළඹ ප‍්‍රධාන පොළ් රාජ්‍ය ආයතනයක රැුකියාවක් කරන කාන්තාවක් එයාටත් තිබුණ කෝච්චි ජිවිතේ ගැන අත්දැකීම්, මගෙත් එක්ක බෙදාගන්න. 
ඒ ගැන අමුතුවෙන් කියන්න  ඕනි නෑනෙ මල්ලි. එක එක විදියෙ අසහනකාරයො පවා මේ කෝච්චි පෙට්ටි ඇතුලෙ ඉන්නව. දවස තිස්සෙම මහන්සි වෙලා එන අපෙන් පවා විනෝදයක් බලාපොරොත්තු වෙන තිරිසනුන් ඉන්නව. ඒක ඉතින් බස් එකෙත් එහෙමයිනෙ. අරෙහෙන් මෙහෙන් අතගානවයි, මිරිකනවයි, ඇඟට නඟිනවයි ඉවරයක් නැහැ. ඒත් ඒ මිනිස්සු දන්නෙ නැහැ හරි කෙනෙක්ට අහුවුනොත්නම් ඉඳල ඉවරයි කියල. එහෙම ආපු එකෙකුටනම් මම දුන්න හොඳ කුඩ පාරක්. මිනිහ ඊලග ස්ටේෂන් එකෙන්ම හෙමීට මාරුවෙලා ගියා.
මාසෙ පඩි දවසටනම් කෝච්චියෙ යන්න  ඕනි හරිම පරිස්සමෙන්. ඒ දවසට හොරු, ගැටකපන මිනිසුසු වැහි වැහැල. ඒ වගේ මිනිස්සුන්ට අහුවෙලා තමන්ගෙ මාසික චේතනය අහිමිකරගත්තු දෙන්නෙක් මට මුණගැහුන. 
ඒක හරිම අවාසනාවක් මල්ලි. මම ගත්තු මුල්ම පඩි පැකට් එක. දාහක් බලාපොරොත්තු තියාගෙන කෝච්චියට ගොඩවුනේ ගෙදර එන්න හිතාගෙන. ඒත් මම බහිනකොට මගෙ පඩි පැකට් එක නැහැ. මාසයක්ම ජිවත් වුනේ හරිම අමාරුවෙන්. දවස් තිහක් නැහිල නැහිල අතට ගත්ත සොච්චම කඩාගෙන යන මිනිස්සුත් ඉන්නවනෙ.....
ඔන්න  ඕක තමයි ඇත්ත තත්ත්වෙ. සතුට, දුක, කඳුළ, වේදනාව මේ හැම දෙයක්ම කෝච්චි ජිවිත ඇතුලෙ තියනව. සමාජයෙ පන්ති තුනකට බෙදුණු මිනිස්සු කෝ්ච්චි පෙට්ටි ඇතුලෙත් පන්ති වලට බෙදිල. ඒ ඒ කෝච්චි පෙට්ටි වල ඒ ඒ සංස්කෘතික පරිසරයන් වල විවිධත්වය විඳගනිමින් බොහෝ දෙනෙකුගෙ කථා වලට සවන් දුන්නු මම කොටුව ස්ටේෂන් එකෙන් මගේ ගමන අවසන් කළේ කෝච්චියේ ජිවිත ගැන හොද අත්දැකීමක් ලබාගන්න ගමන්. 


සටහන :- අමිල නුවන් මධුසංඛ

No comments: