මේ කොළඹ අහස යට හරි සීතලයි කියල කව්වොත් මිනිස්සු මට හිනාවෙයි. ඒක මම දන්නව. කොයි තරම් කටෝර උණුසුමක් තිබුනත් ඒක දරාගන්න මට දැන් පුලූවන්. කම්මලේ ඉන්න බල්ල අකුණු වලට බය නැහැනෙ. ඒ වගේ තමයි මමත්. කාලයක් තිබුණ මගේ ජිවිතෙත් සරුව පිත්තල හීන වලින් හිරිවැටිල ගියපු. හැමදාමත් ඒ හීන අගිස්සෙ සුවඳ හමන මල් පිපුන. දුකක් නෑ හිත කොනකවත්. අදටත් මම ඒ හීන වලට ආදරෙයි. ඒ දවස්වල හැමෝම මට කිව්වෙ මම හරියට රෝස මලක් වගේ කියල... ඒ තරම් ලස්සනයිලූ. ඒත් එහෙම කියපු මිනිසුසුම අද මාව දැක්කම අහක බලාගන්නෙ මං තරම් අවලම් එකියක් තවත් නැති ගානට. උන්ට මාව අවලංගු කාසියක් වෙන්න පුලූවන්. ඒත් උන් නොදන්න එක දෙයක් තියනව. මං අදටත් රෝස මලක්. පෙති තැලෙන්න පුලූවන්, පෙති හැලෙන්න පුලූවන්, සුවඳ නැතිවෙන්නත් පුලූවන්. ඒත් මං රෝස මලක් එදා මංගාවට ආවෙ එක සමනළයෙක් විතරයි. අද සමනල්ලූ විතරක් නෙමෙයි, බඹරුත් එනව. මම මලක් නෙවෙයිනම් ඇයි උන් මං පස්සෙ එන්නෙ...?
මට ඇඟිල්ල දික්කරන මිනිස්සු උපාසකයොද උන් දන්නවද ආපස්සට ඇඟිළි හතරක් දික්වෙලා තියනවයි කියල. ඒ වෙන කාටවත් නෙමෙයි උන්ට. උන්ගෙ තියන තිරිසන් කමට. මාව මේ තැනට ගෙනාවෙ කවුද...? කාටවත් ඔය පිරිමි ඇඟ ඇතුලෙ හිරවෙලා තියෙන විත්ති කූඩුවෙන් නිදහසක් ලැබෙයි ද...? නෑ... කවදාවත් නිදහසක් ලැබෙන්නෙ නෑ. මගේ ජිවිතෙත් එක්ක සෙල්ලං කරපු කිසිම එකෙක්ට මං වෛර කරන්නෙ නෑ. එහෙම කලොත් මගෙයි උන්ගෙයි වෙනසක් නැතිවෙලා යනව. මං වටේ හිටියෙ මිනිස්සු නෙමෙයි. තිරිසන්නු. තමන්ගෙ පහත් ආශාවන් මගේ තඹ පාට ඇඟ උඩ සන්තර්පනය කරපු උන් අද මට මේ ලෝකෙන් යන්න කියනව. නෑ මම යන්නෙ නෑ. මාව මේ ලෝකෙන් යවන්න කිසිම එකෙකුට බෑ. දෙනෝදාහක් ඉදිරිපිට මගේ පැත්තට කෙළ ගහල යන මිනිස්සු මගේ ඇස් ඉස්සරහ උන්ගෙ යට ඇඳුම් එකින් එක ගලවනකොට මට ඇතිවෙන්නෙ පිළිකුලක් විතරමයි. සමහරවිට උන් හිතනව ඇති මං උන්ගෙ මස් ගොබ වලට වශී වෙලා කියල. නෑ... මගෙ මූනට එන්නෙ සමච්චල් හිනාවක් විතරමයි.
මං හොදාකාරවම දන්නව කිසිම කෙනෙක් මගේ කතාව අහන්නෙ නෑ කියල. උන්ට පේන්නෙ මගේ රෙද්ද පල්ලෙ ඇලවිලා තියෙන තුත්තිරි විතරයි. උන් ඒකටයි හේතු අහන්නෙ. කෝ මට උත්තර. මං මොනවටද ඒ මිනිස්සුන්ට උත්තර දෙන්නෙ...? මොනව රැකගන්නද...? හීන විතරක් නෙමෙයි, මට මාවත් අහිමි කරපු මිනිස්සු අතරෙ, මගෙම කියල හිතපු එවුන්ගෙන්වත් අනුකම්පාවක් නොලබපු මම පුදුම අවාසනාවන්තියක් කියල නොකියපු කෙනෙක් ඉන්න පුලූවන්ද...? ඔව් මිනිස්සු කියන විදිහට මම අවාසනාවන්ත වෙන්න පුලූවන්. ඒත් මම අසරණවෙලා නෑ. ලක්ෂපතියො, කොටිපතියො මගේ ඇඟ උඩට නගින්නෙ උන්ට තියෙන හැම දෙයක්ම අමතක කරල. ඉතින් මම විතරක් මොකටද අහිමි වුන දේවල් වලට තවමත් කඳුළු බොන්නෙ. මම අත්පුඩි ගැහැව්වෙ තනි අතින් නෙමෙයි. අත් දෙකකින්. ඒත් ඒක එහෙම නෙමෙයි වෙලා තිබුනෙ. තනි අතිකින් තමයි මම අත්පුඩි ගහල තියෙන්නෙ. ඒකනෙ මට මෙහෙම වුනේ.
හිතේ ඇතුල් කොනකවත් නෑ අන්තිමට මට උරුම වෙන්නෙ මහපාර කියන හැගීම. මොකද අද මම ඉන්නෙ මහ පොළවට ගව් ගානක් උඩින්. මාව අල්ලන්න පුලූවන් මං ගාව රෙදි ගලවන උන්ට විතරයි. කොළඹ කොටුවෙ ඕනිම තැනකට ගියපුවහම ලාබ බඩු ඕනි තරම් ගන්න පුලූවන්. ඒත් මම කවදාවත් සිල්ලර බඩු විකුණන්නෙ නෑ. සිල්ලර කාසි වලට මගේ සුපර්මාර්කට් එකේ දොර ඇරෙන්නෙ නෑ කියල ඕනි කෙනෙක් දන්නව. සමහරු කියන්නෙ මිනිස්සුන්ට ඕනිම දෙයක් සල්ලි වලට ගන්න පුලූවන්. ඒත් හිතේ සතුට සල්ලි වලට ගන්න බෑ කියල. මොන බොරු කතාවක් ද ඒක...? මම සතුට මොනර කඩදාසි වලට තොග පිටින් විකුණන්නෙ ඒ කියමන් බොරු කරල.
කොළඹ අහස යට විඳුලි කොටල ගොරවල අකුණු ගහල හොද සරුවට වහින දවස් ඕනි තරම් තියෙනව. කානු පල්ලෙ ගලාගෙන යන බොර වතුර භාජනයකට එකතු කළොත් දෙතුන්පාරක් පෙරනකොට පිරිසිදු කරගන්න පුලූවන්. ඒත් ඒ වගේද මං...? සිය පාරක් පෙරල ගත්තත් පිරිසිදු කරන්න පුලූවන් ජිවිතයක් ද මට තියෙන්නෙ...? මම දන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ. නමක් නැති, ගමනාන්තයක් නැති මගේ ජිවිතේට බලාපොරොත්තුවක් දෙන්නෙ කවුද කියල...
සටහන - අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment