රන් මුතු මැණික් බොරළු වැලි කැට කරනා අධ්‍යාපනය
උසස් පෙළ යනු මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ පවතින අතිශය තරඟකාරී මෙන්ම තීරණාත්මකම කඩඉමක් වග නොදන්නා අයෙක් නැත. ගොම රිටි උඩ පාවෙමින් මිණි මුතු යට යන සමාජයක මුතු මැණික් උඩ මතුවී ගොම රිටි යට යන ක‍්‍රමයක් නිර්මාණය වන්නේ උසස් පෙළ කඩයිම් ප‍්‍රතිඵලත් සමගිනි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ නියම සාරය හෙවත් දක්‍ෂයින් අතරින් අති දක්‍ෂයින් අතලොස්සක් උසස් අධ්‍යාපන වරම් හිමිකර ගනිමින් විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කර ගනිති. එය එතරම් පහසු කාර්යයක් නොවේ. සිහිනය යතාර්ථයක් කරගන්නට පිරිසක් සමත් වන විට තවත් පිරිසකට තම සිහිනය අතරමග හැරදමා යන්නට සිදු වෙයි.
සිය දරුවා විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් බව දැනගත් අසරන මාපියන් සිතන්නේ ඉන්පසු ඔවුන්ගේ ජිවිත සැපවත් වන බවයි. සමස්ත විශ්වයම අතැඹුලක් සේ ඔවුන් අතට පත්වේ යැයි සිතන මාපියන් දකින්නේ සිහිනයක්ම බව පසක් වන්නේ වසර හතරක කලා උපාධි පාඨමාලාව අවසන් වීමටත් මත්තෙනි. එසේ වන්නේ මෙරට සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලියෙහි පවතින විශිෂ්ටත්වය නිසාවෙන් බව විශ්වවිද්‍යාලයන්හි කලා උපාධිය හදාරන ඕනෑම විද්‍යාර්තියෙක් දන්නා සත්‍යයයි. ජපනුන් විසින් සිය අධ්‍යාපන ක‍්‍රමය තුලින් ගලවා දමන ලද කසි කබල් අධ්‍යාපන ක‍්‍රමයක් නිසාවෙන් මංමුලාවූ පාලක පන්තිය නුසුදුසු බව දැන දැනත් එය තවමත් මෙරට අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනු ලබයි.
තමන් සිතූ පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔස්සේ සිය ජිවිතය ඒකාලෝක කරගන්නට නොහැකි වග අවබෝධකරගන්නා තරුණ ශිෂ්‍ය ප‍්‍රජාවගේ කඩා වැටෙන අසරණ ජිවිත වලට වගකියන්නට කිසිවකුත් ඇත්තේ නැත.
ඔහුට හෝ ඇයට හිමිවන්නේ සදාකාලික පසුතැවීමක් පමනකි. සිය අනාගතය වෙනුවෙන් දකිනා සියුමැළි සිහින දෙපා මුල වැටී විසිරී යන විට ඔවුන්ගේ ආත්ම ශක්තිය දියාරු වී යන්නේ ඔවුන්ටත් නොදැනීමය. පුරා වසර 13 ක් එක්ව අධ්‍යාපනය හැදෑරූ සිය මිතුරන් උසස් පෙළින් පසු විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලබා රැුකියාවක නිරතවන විට විශ්වවිද්‍යාලයන්හි කාලා පීඨවල සිසුහු වේදනා සුසුම්ලන්නේ ඔවුන් කෙරෙහි ඊර්ෂ්‍යාවකින් නොව පවතින අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳව ඇතිවූ කළකිරීමෙනි. බොහෝ බටහිර රටවල තරුණයකු වයස 17 සම්පූර්ණ කරන විට උපාධියක් ලබා ගැනීම දක්වා දියුණු අධ්‍යාපන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වේ. නමුත් මෙරට උසස් අධ්‍යාපනය අවසන් කරන විට තරුණයින්ගේ ජිවිතයෙන් හරි අඩක්ම ගෙවී අවසන්ය.
ඉන් පසු රැකියාවක් සොයා ගැනීමටත්, ඒ තුලින් ස්ථාවරත්වයක් හිමිකර ගැනීමටත් තව බොහෝ කල් බලා සිටීමට සිදුවේ. ආදරය පවුල් ජිවිතය විවාහය සහ බැඳ’ම් යන සියල්ලක්ම ඔවුන්ගේ ජිවිත වලට බොහෝ ඈතින් පිහිටන නිසා හැගීම් දැනීම් නැති ජාතියක් බිහිවන්නට එයම කමටහනක් වෙයි. මේ අන්දමින් මානසික තැවුලට පත් වෙන මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගත ඛේදවාචකයට වගකියන්නටවත් කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. ඔවුන් නගා සිටුවන්නට ද කෙනෙකු ඉදිරිපත් නොවේ. එසේනම් මේ සියල්ලට වගකියන්නට සිදුවන්නේ මුතු මැණික් බොරළු වැලිකාට කරනා අසාර්ථක අධ්‍යාපන ක‍්‍රමය නොවන්නේ ද ?
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment