දොරකඩ අස්න

Saturday, May 30, 2015

ටියුෂන් යන්න කලින් මේ ගැනත් සිතන්න...

kln.ac.lk
ටියුෂන් යන්න කලින් මේ ගැනත් සිතන්න...
සාමාන්‍ය පෙළ ඉවර වෙලා ප‍්‍රතිළුලත් ඇවිත් ඉවරයි. හතර වටින්ම දකින්න ලැබෙන්නෙ ටියුෂන් පන්ති ගැන දක්වල තියෙන පෝස්ටර්. උසස් පෙළ කරන්න තවත් පිරිසක් පාසැල් වලට ඇප්ලිකේෂන් දම දමා ඇවිදිනව. සුපුරුදු පරිදි තවත් පිරිසක් ඉබාගාතෙ යනවා. මේක හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළත් උසස් පෙළත් අතර සංක‍්‍රාන්ති සමයේ සිදුවන සාමාන්‍ය ප‍්‍රශ්නයක්. ඒ ප‍්‍රශ්නය කෙසේ වෙතත් ටියුෂන් පන්ති පිළිබඳවනම් ඔබ අතර පවතින අනවබෝධය නැති කරන්නම  ඕනි දෙයක්. සාමාන්‍යයෙන් අපිට ටියුෂන් පන්තියක්  ඕනි වෙන්නෙ පාසලේදී උගන්වන විෂය කරුණු ප‍්‍රමාණවත් නොවුනාම විතරයි. නමුත් අද සමහර ළමයි ටියුෂන් පන්ති හොයාගෙන යන්නෙ උසස් පෙළ කරන්න පාසැලක් හොයාගන්නත් කලින්. එහෙමත් නැතිනම් සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල පිටවෙන්නත් කලින්. 

ඔවුන් මේ දේවල් සිදු කරන්නෙ කොයි තරම් අනවබෝධයෙන් ද කියල ඒකෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. තමන්ගෙ පාසැල මොන වගේ එකක් ද ? තමන්ට උගන්වන ගුරුවරුන් කවු ද ? ඔවුන් උගන්වන්නෙ කොයි ආකාරයෙන් ද ? ඒ ඉගැන්වීම් ක‍්‍රමය තමන්ට තේරෙනවා ද නැතිද යන්න පිළිබඳව හෝ අවබෝධයක් ලබා ගන්න නොහැකි තරමටම අද ළමයින් ටියුෂන් පන්ති වලට හිරවෙලා. ඒකෙන් සිද්දවෙන පාඩුවනම් මේ යැයි විස්තර කරන්න අමාරුයි. 
x ටියුෂන් පන්ති වලට ගෙවන මුදල් බස් වියදම් පොත්පත්
x ශරීරයට ඇතිවන අධික තෙහෙට්ටුව හා විඩාව
x අධික ලෙස මොළය වෙහෙසවීම නිසා ඉගෙනගන්නා දෙය අමතකවීම සහ කේනිති යාම
x පාඩම් කටයුතු වලට සහ විෂය භාහිර ක‍්‍රියාකාරකම් වලට කාලයක් නොමැතිවීම
x ඔබේ මවට සහ පියාට ගේ දොර වැඩ කටයුතු තනිව කිරීමට සිදුවීම නිසා ඔවුන් අපහසුතාවයට පත්වීම

මේ විදියට අපට අහිමිවෙන දේවල් ගැන කියන්න ගියොත් ඉවරයක් නැති තරම් දිග ලැයිස්තුවක් හදන්න පුළුවන්. මේ තුලින් හිමිවෙන දේවල් පිළිබඳව විශ්වාසය තැබීම හරියට සූදු සෙල්ලමක් වගෙයි. මෙයින් අපි ඔබට කියන්නෙ ටියුෂන් යන්න එපා කියලනම් නෙවෙයි. ටියුෂන් යනව කියන එක ඔබේ සැබෑම අවශ්‍යතාවයක් ද කියන එක ගැන දෙවරක් හිතල බලන්න කියලයි අපි ඔබට කියන්නෙ. ඒ වගේම ටියුෂන් පන්තියක් තෝරගන්නකොටත් ටිකක් කල්පනාකරල බලන්න කියලත් අපි ඔබට කියන්නෙ ඔබට තිබෙන සැබෑම ආදරය නිසාවෙන්මයි. 
                                           සටහන :- අමිල නුවන් මධුසංඛ

නව යොවුන්වියට තහංචි...

www.kln.ac.lk
නව යොවුන්වියට තහංචි... 


වර්තමානයේ යොවුන්විය පිළිබඳව කථාකරන විට එය විවිද කෝණයන්ගෙන් යුක්ත බව පෙනීයයි. යොවුන් වියට පා තැබීමත් ඔවුන්ගේ ආකල්පමය චින්තනයත් සමාජය ඔවුන් දෙස බලන ආකාරයත් වැඩිහිටියන් හා සමවයසේ යහලූ යෙහෙළියන් ඔවුන් පිළිබඳව දරන විග‍්‍රහයත් ආදී විවිද පැතිකඩයන්ගෙන් යොවුන් විය පිළිබඳව සාකච්ජා කළ හැකිය. එපමනක් නොව යොවුන් වියේ ආරම්භය සහ අවසානය කොතැනක පවතීද යන්න පිළිබඳව ද මතබේදයන් පවතියි. කෙසේ නමුත් ජිව විද්‍යාත්මක ආරම්භයක් සහ සංස්කෘතික අවසානයක් යොවුන් වියට පවතින බව අවසානයේ පෙන්වා දී තිබෙයි. 

යෞවනය පිළිබඳව කුමන කතිකාවත් ගොඩනැගුන ද යොවුන් වියේ වර්තමාන තත්ත්වය පිළිබඳව මගහරිමින් කථා කිරීම එතරම් සාර්තක නැත. එසේනම් යොවුන්විය යනු හුදෙක්ම සරළ ජිව විද්‍යාත්මක ක‍්‍රියාවලියකට වඩා සංකීර්ණ මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක ක‍්‍රියාවලියක සාමූහික ප‍්‍රතිඵලයක් ලෙස අර්ත දැක්වීම වඩාත්ම ප‍්‍රතිපලදායකය. නිවස පාසැල හා සමාජය යන ස්ථාන තුනකම එක්වර හැසිරෙන නව යෞවනය වෙත විවිදාකාරයේ අවවාද සහ උපදෙස් අසන්නට දකින්නට ලැබීම ස්වභාවිකය. කළ යුත්ත කුමක් ද නොකළ යුත්ත කුමක් ද යන්න තෝරා ගැනීමට පවා අපහසු වන තරමටම මගපෙන්වීම් ලැබෙයි. 
සමහර විටෙක පාසැල තුලින් කළ යුතුයැයි සඳහන් කරන ඇතැම් යහපත් ක‍්‍රියාකාරකම් නිවසේදී නොකළ යුතු ක‍්‍රියා ලෙස ප‍්‍රතික්ක්‍ෂේප විය හැකිය. මේ සියළු ආදර්ශ උපදෙස්  සහ යෝජනා වලට විවෘත්ත වන නව යෞවනය කළ යුත්තේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව අන්දමන්ද වන අවස්ථාද නැතිවා නොවේ. ළමාවියේ කෙළිදෙළෙන් විනෝදයෙන් ගස් උඩින් පනිමින් ගගේ පීනමින් එකට රන්ඩු කරමින් පිරිමි ළමුන් සමග ගතකරන ගැහැණු ළමුන්ට හදිසියේම එක් දිනයකදී ඒ සියල්ල තහනම් කරනු ලබයි. අවම වශයෙන් නිවසෙන් එළියට බැසීමටවත් පිරිමි ළමයකු සමග කතාබහ කිරීමටවත් පිරිමියකු දෙස බැලීමටවත් අවකාශයක් නොදෙයි. තවත් දින කිහිපයකින් තමන් කරන කරන දෙයට තහංචි වැටෙයි. 

”ඔහොම නටනවද ගෑනු ළමයි උඹට ලැජ්ජ නැද්ද කොල්ලන්ගෙ කරේ එල්ලිලා නටන්න” 
”ඔය විදියට දගලන්න එපා දරුවො”
”උඩ පනින්න එපා... ගහගන්න එපා...”
”එපා.. එපා.. එපා.. හැමදේම එපා..”
මේ අයුරින් තහංචි වල අවසානයක් නැත. පාසැලේදී පිරිමි ළමුන් සමඟ සෙල්ලම් කළ යුතුයැයි වැඩ කළ යුතු යැයි ගුරුවරුන් විසින් පවසන විට නිවසින් මේ සියල්ලට තහංචි පනවයි. මේ සියල්ල එකවර දරාගත නොහැකිව කළ යුත්ත නොකළ යුත්ත තෝරා ගැනීමට නොහැකිව සිත් තැවුලට පත් වන යෞවනියෝ අසහනකාරී තත්ත්වයන්ටද මුහුණ දෙති. මේ සියල්ල දෙස නොයිවසිල්ලෙන් බලා සිටින යෞවනයෝද තරමක කැළඹිලි ස්වභාවයකට පත් වෙයි. මන්ද යත් මෙතෙක් කලක් තමන් සමග එකට ගත කළ ගැහැණු ළමුන් ඔවුන්ගෙන් ඈත් කිරීම ඔවුන්ට ප‍්‍රශ්නකාරී වීමයි. මෙයට හේතු සොයන යෞවනයන්ද විවිධාකාර ගැටලූ වලට මුහුණ දෙති. මෙම සිදුවීම් අඩු වැඩි වශයෙන් වර්තමානයේත් අතීතය පුරාවටත් අනාගතයේත් මෙලෙසින්ම සිදුවනු ඇත. නමුත් තහංචිය තුලද දැකගත හැක්කේ කුතුහළයකි. එබැවින් විමසිලිමත් යොවුන් විය මෙම තහංචි ඉක්මවා යෑමටත් ඒවා අත්හදා බැලීමටත් නිරන්තරයෙන්ම උත්සාහ කරති. ඒ නිසා කළ යුතු වන්නේ දඟකාර තාරුණ්‍යයට මේ පිළිබඳව කාරුණික අන්දමින් වටහා දීමයි. එය සියල්ලටම වඩා යහපත් වනු ඇත.
                                                        සටහන :- අමිල නුවන් මධුසංඛ

උසස් පෙළ කරන ඔබ නින්ද හා විවේකය ගැනත් සිතුවාද ?

www.kln.ac.lk
උසස් පෙළ කරන ඔබ නින්ද හා විවේකය ගැනත් සිතුවාද ?


වර්තමාන තාරුණ්‍යය සැළකිලිමත් වියයුතු කාරණා අතර නින්ද හා විවේකයට ද සුවිශේෂී සැලකිල්ලක් හිමිවිය යුතුය. විශේෂයෙන්ම වත්මන් පාසැල් සිසුන් බොහෝමයක් දෙනා පාසැල අවසන් වීමෙන් පසු අතිරේක ටියුෂන් පන්තිවලට යාම නිසා දිවා කාලයේ විවේකයක් නොළබමින් වෙහෙසෙති. දිවා කාලයේ එකතැන සිට විවේකීව පාඩම් කටයුතු කිරීමට අවකාශයක් නොමැති නිසා එම හිඩැස පියවා ගන්නේ රාත‍්‍රී කාලයේ නිදි නොළබා පාඩම් කිරීමෙනි. කෙසේ නමුත් මෙම බාධක අභියෝග හදුනාගෙන ඒවා මගහරවාගෙන කටයුතු කිරීම නුවණට හුරුය. 

දිවා කාලයේ වෙහෙසී වැඩ කරන අතරතුර අධික තෙහෙට්ටුවක් ඇතිවීමට පෙර කෙටි විවේකයක් ගැන’ම වඩාත් උචිත වෙයි. තෙහෙට්ටුව හොදටම වැඩිවන තෙක් සිටීම හානිකරය. අධික වෙහෙස හෝ තෙහෙට්ටුව ඒමට පෙර කෙටි විවේකයක් ගත යුතුය. කෙසේ නමුත් දිවා කාලයේ නින්දට පුරුදු වීමද අහිතකරය. සමහරු පාසැල් ගොස් පැමින ආහාර ගැන’මෙන් පසු පැය 2-3 ක් නිදාගැනීමට යොමු වෙති. නමුත් මෙය පසු කාලීනව ඇබ්බැහියක් දක්වා වර්ධනය විය හැකිය. එසේ වූ විට සෑම දනකම එම වේලාවට නිදිමතක් ඇති වෙයි. නින්දේදී තාවකාලික සතුටක් ලැබුනත් නින්දෙන් අවදිවූ විට ශරීමයට තෙහෙට්ටුවක් සහ කෙඩෙත්තු ගතියක් ඇතිවීම ස්වභාවිකය. එය පාඩම් වලට සිත යොමු කිරීමටත් පාඩම් මතක ලබා ගැනීමටත් අපහසුවක් ඇති කරයි. 


බොහෝ විට දෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් උදේ කාලයේ නිදා ගැන’මට යොමු වී සිටිති. මෙයද හිතකර නැත. දිවා කාලයේ නිදාගන්නවාට වඩා මදක් හාන්සිවී සිටීම හිතකර වෙයි. විශේෂයෙන්ම විභාගය ආසන්න කාලයේ උදේ හෝ සවස් කාලය තුල නිදාගැන’ම කොහෙත්ම සුදුසු නැත. එය පුරුද්දක් කරගත් තැනැත්තාට විභාගය ලියන අවස්ථාවේදී පවා නිදිමත ගතියක් ඇතිවිය හැකිය. එවිට සාර්ථක පිලිතුරක් ලිවීමට ද නොහැකි වනු ඇත. පුරුද්දකින් මිදීම එක් වරම කළ නොහැක්කක් නිසා දිවා නින්ද ටිකින් ටික අඩු කළ යුතුය. 
රාත‍්‍රී කාලයේ නින්ද ලබාගැනීමට අනවශ්‍ය සමහරුන් රාත‍්‍රී 7-8 පමන නිදාගෙන උදෑසන 2-3 පමන වන විට අවදිවී පාඩම් කරනු ලබයි. මෙය අහිතකර තත්ත්වයකි. කළ යුත්තේ ස්වභාවිකත්වයට අනුගත වෙමින් කලින් නිදාගෙන කලින් අවදිවීමයි. මේ අනුව තමන්ගේ නිවසේ දෛනික වැඩපිළිවෙළට අනුකූලව වඩාත් හොද කාලසටහනක් සකසාගත යුතුය. සවස පන්ති වලට ගොස් තෙහෙට්ටු වී නිවසට පැමිනෙන සිසුන් යම් කාලයක් විවේකයක් ගෙන නැවත පාඩම් කටයුතු වලට යොමුවිය හැකිය. යම් හෙයකින් ස්වභාවික නිදි චක‍්‍රය පටලවාගතහොත් මතක ලබාගැන’මේ ශක්තිය අඩුවේ. බුද්ධිය නිසි පරිිදි ක‍්‍රියාත්මක නොවේ. එවිට ඉහළ ප‍්‍රතිඵල ලබාගත නොහැකිවනු ඇත. මේ අනුව උසස් පෙළ විභාගයට සූදානම් වෙන යොවුන් ඔබ කල් තියාම මේ පිළිබඳව සැළකිලිමත් වීම සාර්ථක අනාගතයකට අඩිතාලමක් වනු නිසැකය. 
                                                  
                                                             සටහන :- අමිල නුවන් මධුසංඛ 

ශ්‍රී ලංකාවේ කෝපි වගාව.

kln.ac.lk

ශ්‍රී ලංකාවේ කෝපි වගාව.

                       
     වර්ෂ 1503 දී අරාබි ජාතිකයන් විසින් කෝපි වගාව මෙරටට හඳුන්වා දී ඇත. නමුත් ඕලන්ද ජාතිකයන් 1658 දී කෝපි වගාව ආරම්භ කරන ලදී. කෝපි වගාව ලාභදායක වගාවකි.
රුබියාගේ කුලයට අයත් කොපියා ගනයේ විශේෂ 60ක් පමණ ඇත. මෙයින් ආර්ථික වැදගත්කමින් යුක්ත විශේෂ නම් කොපියා ඇරබිකා, කොපියා කැනිපෝරා, කොපියා ලයිබේරිකා වේ.
                             කෝපි අතුරු බෝගයක් ලෙස වගා කල හැක. එසේ නැතිව තනි තනිව වගා කරන්නේ නම් 3.3m වනසේ පඳුරු සහිත කෝපි පැල 1100ක් හෙක්ටයාරයක වගා කල හැක. කොම්පෝස්ට් පොහොර හෝ ගව පොහොර එක්කර රොක් පොස්පේට් 100g ක් එක් වලකට මිශ්‍ර කර වැසි ලැබීම ආරම්භයත් සමඟ පැල සිටුවීම ආරම්භ කල හැක.
                            
සාමාන්‍යයෙන් කෝපි බෝගයේ ඵල හටගැනීම, සිටුවා අවු.2කින් පමණ ආරම්භ වේ. හොඳ පාලන තත්ත්වයක් යටතේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් 1000-1500kg අතර වේ. නිෂ්පාදිත කෝපි වල ගුණාත්මය අපනයන වෙළදපොල තීරණය කරයි. මේ නිසා පරිණත හොඳ ගෙඩි පමණක් නෙළා ගැනීමෙන් කෝපි වල ගුණාත්මය වැඩි වේ.
                          
කෝපි අස්වනු නෙලීම චාරිත්‍රානුකූලව කල යුතුය. මේ නිසා හොදින් ඉදුනු ගෙඩි පමණක් වේළා ගැනීම කල යුතුය. බාගෙට ඉදුනු හා අමු ගෙඩි නෙලා ගත හොත් ඒවා වෙනම සැකසීම කල යුතුය. ඉදුනු කෝපි ගෙඩි පොතු හැර පියල්ලේ ඇති නානු සහිත පොත්තද ඉවත් කර හොදින් වියළා ගත් කෝපි ඇට බැඳ කුඩුකර ගැනීමෙන් පසු හොදින් උතුරුවා ගත් ජලය සමඟ මිශ්‍ර කර විවිධ රසකාරක සමඟ හෝ තනිව පානයට ඉතාම සුදුසුයි. කෝපි ඇට හොඳින් වියළා දිගු කලක් ගබඩා කර තැබිය හැක. ඒවාගේම විශිෂ්ඨ ගනයේ අපනයන බෝගයකි.

                                                                          

                                                                  -අමිල නුවන් මධුසංඛ-

Saturday, May 23, 2015

ජිවිතයට අරුතක්

ජිවිතයට අරුතක්...

වඩාත් වැදගත් වන්නේ කිසියම් ප‍්‍රශ්නයක් නිසාවෙන් ජිවිතයෙන් සමුගැනීම ද ? එසේත් නැතිනම් කෙසේ හෝ එම ප‍්‍රශ්න වලට මුහුණ දෙමින් ජිවත් වීමද ? යනුවෙන් යමෙක් ඔබගෙන් ඇසූ විට ඔහුට හෝ ඇයට ඔබ ලබාදෙන පිලිතුර පිළිබඳව මදක් සිතන්න. ප‍්‍රශ්න වලට මුහුණ දෙමින් ජිවත්වීම වඩා යහපත් බව ඔබ පැවසුවහොත් ඇත්තෙන්ම ඔබ නිවැරදිය. ජිවිතයේ ප‍්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයකි. එම ප‍්‍රශ්න සියල්ලක්ම ඇතිවන්නේ තමන්ටම පමනක් බවත් එවැනි ප‍්‍රශ්න වලට මුහුණ දුන්නේ තමා පමනක් බවත් සිතමින් බොහෝ දෙනෙක් පසුවන බවද නොරහසකි.


නමුත් එසේ සිතීමද තමන්ගේ කරදර ගොඩට තවත් කරදර එක්කර ගැනීමක් බව සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. ඔබ මොහොතක් සිතා බලන්න ප‍්‍රශ්න නැති ජිවිතයක් මේ මිහිපිට තිබිය හැකිද ? අපට යම් අයෙක් දෙස බැලූ පමනින් ඔහුට හෝ ඇයට ප‍්‍රශ්න නැතැයි කිව නොහැකිය. නමුත් ඔවුන්ගේ ජිවිත වල අභ්‍යන්තරයට එබී බැලූ කල්හි මොන තරම් ප‍්‍රශ්න ගොඩක් එම ජිවිත තුල තිබේදැයි තේරුම් ගත හැකිය. මෙම තත්ත්වය තේරුම්ගත නොහැක්කේ එහෙමත් අයෙකුට පමනි. ප‍්‍රශ්න නැති අයෙකු මිහිපිට නොමැත. එබැවින් එම ප‍්‍රශ්න ගැන සිතමින් ඒ වෙනුවෙන් කාලය වැය කර කදුළු සැල’ම හරි දෙයක්දැයි ඔබම තීරණය කළ යුතුය.

යම් හෙයකින් ඔබ තනිවී ඇතැයි ඔබට සිතිය හැකිය. ඔබ වටා සිටින්නවුන් පවා ඔබට ප‍්‍රශ්න ඇති කරන්නට පැමිනියවුන් ලෙස දැනිය හැකිය. යම් කිසි කාරණාවක් සිත තුල තෙරලාගෙන සිටිනවාට වඩා එය තමන්ගේ සමීපතමයෙකුට පවසා හිත නිදහස් කර ගැනීමට ඔබට හැකියාවක් තිබේනම් යම් හෝ සහනයක් ලබා ගැනීමට ඔබට හැකිවනු නිසැකය. ජිවිතයේ ඔබට බොහෝ දෙනෙක් සමීප වී සිටිය හැකිය. නමුත් මව හෝ පියා තරම් ඔබට සමීප අයෙකු සොයා ගැනීම එතරම් පහසු නැත. ඔබව තේරුම් ගෙන ඔබේ ප‍්‍රශ්න වලට විසදුමක් දෙන්නට යමෙක් වේනම් ඒ ඔබේ දෙමාපියන්ම පමනකි. එබැවින් විශ්වාසවන්ත අයෙකු ලෙස සිතමින් ඔබව තවත් ප‍්‍රශ්න වලට ඇද දමන අයෙකුට ඔබේ ප‍්‍රශ්න නොපවසා සිටීමට ද ඔබ වගබලා ගත යුතුය.

කෙතරම් කම්කටොළු බාදක ඔබේ ජිවිතය අරක්ගත්ත ද මහා පර්වතයක් සේ ඔබ නොසැලී සිටිය යුතුය. මලක් සේ සිනාසී සිටිය යුතුය. අව්‍යාජ ලෙස හදවතින් නැගෙන පිරිසිදු සිනහවෙන් මිස ව්‍යාජ සිනහවෙන් මුව සරසා නොගන්න. ජිවත්වීම උදෙසා සිතේ ඉපදුණු පුංචි බලාපොරොත්තු වෙනුවෙන් එක් පහනක් හෝ දැල්විය යුතුය. යම් දිනෙක ඒ පහන් එළියම ඔබේ ජිවිතයට තව තවත් ධෛර්යමත් කරනු නිසැකය. එදිනට කිසි දිනක නොදැණුනු සැනසීමක් සහනයක් ඔබට දැනෙනු ඇත. එවිට නැගෙනහිර අහස්කුස පුපුරා මතුවූ හිරු කිරනක් සේ ඔබේ ජිවිතය ආලෝකමත් කොටගෙන ඔබවටා ඇති අනෙක් ජිවිත ද ආලෝකමත් කරන්නට ඔබට හැකියාව ලැබෙනු ඇත.
                                                             

                                                              සටහන :- අමිල නුවන් මධුසංඛ

සිහින දකින්නේ ඇයි?


www.kln.lk
සිහින දකින්නේ ඇයි......

සිහිනයක ශුභ හෝ අශුභ යමක්‌ තිබේද? සිහින පලාපල කීම යනු හුදු මිථ්‍යාවක්‌ ද යන කරුණ විසඳා ගැනීමට නවීන විද්‍යාඥයින් ද බොහෝ පර්යේෂණ සිදුකර තිබේ. ජ්‍යෙdaතිෂයේ ද සිහින පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්‌ සාකච්ඡා කිරීමට මේ ලිපිය යොදා ගනිමු.
එක්‌ දිනෙක අත්තම්මා කෙනෙක්‌ රාත්‍රියේ නපුරු සිහිනයක්‌ දැක අවදි වූවා ය. ඇය දුටුවේ තම මුණුපුරා නිදාසිටින පොරෝනයේ හිරවී හුස්‌ම ගැනීමට අපහසුව දඟලන බවකි. වේලාව පාන්දර 3.45 වුවද තම නිවසට ඈත පෙදෙසක පදිංචි තම පුතාගේ නිවසට ඇය දුරකථනයෙන් කතා කළේ මුණුපුරාට කරදරයක්‌ යෑයි බියට පත්ව සිටි බැවිනි. පුදුමය දනවන සිදුවීමක්‌ වූයේ ඊට ටිකකට පෙර එවැනි සිදුවීමක්‌ දැක මුණුපුරා හිරවී සිටි පොරෝනය ඉවත් කළ බව ඇයගේ පුතා විසින් පිළිගැනීමයි. මේ වූ කලී ඇමරිකාවේ අධි මානසික පර්යේෂණ කරන (Institute of Parapsychology) ආයතනයේ ලුසියා රයින් මහත්මියගේ සිහින එකතුවක සඳහන් කරුණකි. මෙම පර්යේෂණ ආයතනවල නින්දට යන අයගේ හිසට EEG යන්ත්‍ර සවිකර විවිධ නිරීක්‍ෂණ සිදුකරනු ලැබේ. කෙසේ නමුත් යම් සිදුවීමක්‌ කල් ඇතිව හඟවන සිහින (Realistic dreams) නමින් ඒවා හඳුන්වනු ලැබේ.
යම් සිහිනයක්‌ මගින් දුටු සිද්ධියකට සමාන වූ සිදුවීමක්‌ දින කිහිපයකට පසුව ඇතිවන බව සමහර විට ඔබට ද පෙනී යා හැකිය. එවැනි අද්දැකීම් ඇති බොහෝ අය අප අතර සිටී.
යථාර්ථ සිහින ගැන දැන ගැනීමට ඇමරිකාවේ සිදුකළ පර්යේෂණම අපට අවශ්‍ය නොවෙන්නේ විශේෂයෙන් බෞද්ධ පොතපතේ ද එවැනි බොහෝ සිදුවීම් වාර්තා වන බැවිනි. බෝසත් කුමරුන් පිළිසිඳ ගත් අවස්‌ථාවේ මහමායා දේවිය දුටු සිහිනය, බුදු බව ලබන බව සනාථකරමින් බෝසත් තවුසන් දුටු සිහින පහ ඊට උදාහරණය. අනාගතයේ රාජ්‍ය පාලනය පිළිබඳ පලාපල පැවසූ සිහින 18 පිළිබඳව කොසොල් රජතුමා දුටු සිහින වශයෙන්ද විස්‌තර කර තිබේ. මේ අනුව සලකා බලනවිට අප රටේ නම් වසර 2500 පෙර සිටම සිහින පලාපල ගැන දැන සිටි බව පෙනේ 
සිහින ගැන ඉතා වැදගත් විස්‌තරයක්‌ "මිලින්ද ප්‍රශ්නය" නම් ග්‍රන්ථයේ මහා ස්‌වප්න ප්‍රශ්නය යන මාතෘකා යටතේ විස්‌තර කෙරේ. සිහින දකින්නේ ඇයි යනුවෙන් මිළිඳු රජතුමා නඟන ප්‍රශ්නයට නාගසේන මහ රහතන්වහන්සේ දෙන පිළිතුරු අනුව සිහින දැකීමේ හේතු පහත සඳහන් ලෙස වර්ග කළ හැකිය.
1. වාතය කිපීම නිසා අහසින් යැම වැනි සිහින දකී.
2. පිත කිපීම නිසා ගිනිජාලා ආදී සිහින දකී.
3. සෙම කිපීම නිසා ජල ක්‍රීඩා ආදී සිහින දකී.
4. පෙර කරන ලද කතා හා ක්‍රියා පිළිබඳව ද සිහින දකී.
5. තමන්ට අනාගතයේ සිදුවන ශූභා ශුභ වශයෙන්ද සිහින දකී. 
6. උදව් කරන දෙවියන් විසින්ද ශුභා ශුභ සිහින දක්‌වති.
මෙහිදී පෙර නිමිති වශයෙන් දකින සිහින පමණක්‌ සත්‍ය වන අතර ඉතිරි සිහින බොරු වන්නේයෑයි නාගසේන හිමියෝ පැහැදිලි කරති.
තව දුරටත් මෙහි සඳහන් වන්නේ නිදි වර්ජිතව සිටින විටද තද නින්දට වැටුණු විටද සිහින නොදකින බවය. සිහින දකින්නේ නින්දක්‌ නොනින්දත් අතර කාලයේ බවය. තවද සිහිනය පිළිබඳව තම සිතට නොව ඒ පිළිබඳව දන්නා නිමිති පාඨකයකුගෙන් විමසා තේරුම් දැන ගතයුතු බවද සඳහන් වේ.
ඉහත ධර්ම ග්‍රන්ථයේ සඳහන් කරුණු ජ්‍යෙdaතිෂ ග්‍රන්ථ වලින්ද තහවුරු කර ඇත. පහත සඳහන් වන්නේ ජ්‍යෙdaතිෂයේ සඳහන් වන සිහින පලාපලයන් ය.
1. ගස්‌ හා කඳු මුදුනට නැග්මද, අහසින් ගමන් කිරීමද වාතාධික තැනැත්තන් විසින් දකිනු ලැබේ.
2. ගිනි ගොඩවල්, රතු මල් ආදිය පිත් කෝපය නිසා දකී.
3. ගංගා, මුහුද, පිහිනීම, සුදුමල් ආදිය දකින්නේ සෙම් කෝපවන බැවිනි. මේවා ශාරීරික දොaෂ නිසා දකින සිහින පමණක්‌ වන අතර ශුභා ශුභ බලයන් නැත.
යම් සිහිනයක්‌ මුල සිට අගට ඉතා පැහැදිලිව හොඳින් දුටුවේ නම් එහි ශුභ හෝ අශුභ විපාක ඇතිවන්නේය. සිංදු කීම, අලුත් ඇඳුම් ඇඳීම, නැටීම, අශූභඵල දේ, හිරු, සඳු හෝ දත් ගැලවී වැටීම, වතුරේ ගිලීම, දර සෑයවල් සිහිනෙන් දුටුවිට රෝග පීඩා හා දුක්‌කරදර ඇතිවන බවට පෙරනිමිත්තකි. අත, පය, ඇස්‌, ගැලවී යාමද දුක හා ශෝකය ගෙන දෙයි.
ශරීර කෑලි කෑලි වලට කපා දැමීම, ශරීරයට අශූචි වලින් ආලේප කිරීම, ඇතෙක්‌ පිට යනවා පෙනීම, උසස්‌ පදවි ලැබෙන බවට පෙර නිමිත්තකි. 
කන්‍යාවන් වැළඳ ගැනීම, ඇතුන් සිංහයින්, වාහන තමන්ට අයිතිවීම. කිරිවලින් මුහුණ සේදීම, මිනිස්‌ හිසෙහි හෝ හෘදය මාංශ අනුභව කිරීම දැකීමෙන් රජයේ උසස්‌ තනතුරු ලැබෙන බව පෙන්වයි.
තමන්ගේම මරණය, යුද්ධයකින් හෝ වාදයකින් ජය ලැබීම අශූචි අනුභව කිරීම, නොයා යුතු ස්‌ත්‍රීන් කරා යාම ආදිය සිහිනෙන් දැකීම ධන ධාන්‍ය සම්පත් ලැබෙන බව පෙන්වයි.
තමන්ගේ නිවස හෝ තමන්ගේ ශරීරයේ අවයවයන් හෝ වෙනත් තමා සතු දෙයක්‌ හෝ තම නැදැයන් සමග හෝ ගිනිගන්නවා සිහිනෙන් පෙනීම ඒකාන්තයෙන්ම රාජ්‍ය බලය ලැබෙන බව පෙන්වයි. මව්බිම හෝ මුහුද වැළඳගන්නවා දැකීමද රාජ්‍ය බලය ලැබෙන බව පෙන්වයි.
සිහිනෙන් රැවුල කැපීම, නියපොතු කැපීම, විවාහ මංගල උත්සව දැකීම මරණ. ශෝක, සිත්තැවුල් වලට හේතු වන්නේය.
තමන්ට උපකාර කරන සේවකයකු හෝ උපකරණයක්‌ විනාශවීම හිතවත් මිත්‍රයකුගේ මරණය, ගස්‌ හා ගෙයකින් බිමට වැටීම සිහිනෙන් දැකීම ශුභ නොවේ. හානියක්‌ පෙන්වයි.
දුර්වල ශරීරයක්‌ ඇති කෙනෙකු තරුණයෙකු මෙන් සිටිනවා දැකීම නීරෝගි භාවය හා දීර්ගායුෂ ගෙන දෙන්නේය. කළු පාටින් යුත් ඕනෑම දෙයක්‌ සිහිනෙන් දැකීම ඉතා අශුභය. එහෙත් ඇතුන් දැකීම ශුභය.
රාත්‍රි ප්‍රථම යාමයෙහි දකින ලද සිහිනය අවුරුද්දකින්ද, දෙවන යාමයෙහි එනම් මාස හයකින්ද, අලුයම නම් මාසයකින්ද අරුණාලෝකය ඇතිවිට දුටුවේ නම් එදිනම විපාක දෙනවා ඇත.
නපුරු සිහින පෙනීමද කරදරයකි. සිහිනෙන් බියවීම. නින්ද නොයැම ආදී ගැටලු ඔබටත් ඇතිනම් පිරිත් පොතේ එන 'මෙත්තානිසංස සූත්‍රය' භාවිතාකරන්න. එවිට සුවසේ නින්දට ගොස්‌ සුවසේම පිබිදෙනු ඇත
                                                                                                                                                                                                                                                                                       සටහන
                                                                            අමිල නුවන් මධුසංඛ

අවුරුද්ද ගම සහ රූපවාහිනිය

www.kln.ac.lk

අවුරුද්ද ගම සහ රූපවාහිනිය...
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක‍්‍රමනය වීමත් සමගින් උදාවන සිංහල හා හිංදු අලූත් අවුරුද්ද ලාංකේය ජනතාවට අති සුවිශේෂී ජාතික උත්සවයක් බව අමුතුවෙන් කිව යුතු නැත. දේශීය සංස්කෘතියට ආවේනික උරුමයන් සහ චිරාගත සිරිත් කැටිකොට ගත් බක්මහ මංගල්‍යය නිරන්තරයේනම ජනතාව තුල නැවුම් හැගීම් ජනිත කරනු
ලබයි. බෞද්ධාගමික පරිසරයත් ජෝතීර් විද්‍යාවේ මහිමයත් මුසු වී නිර්මාණය වන අවුරුදු නැකැත් නැවුම් වසරකට පදනම සකසනු ලබන්නේ ජන හදවත් තුල නොකිළිටි හැගීම් පුඹුදුවාලමිනි. 

වියලී ගිය කොළ හැලූණු ගහකොළ වලට කිරි වැදී දළු දමමින් කැකුළු මල් පූදින්නටත් ඒ තුලින් මිහිරි පල හටගන්නටත් බක්මහ කමටහනක් වන බව සියල්ලෝම දන්නා කාරනයකි. ඒ අනුව ගම හා අවුරුද්ද අතර ආත්මීය වූ බැදිමක් පවතින අතර කජු පුහුලන් හා එරබදු මල් ඒ සඳහා සාක්‍ෂි දරයි. අවුරුද්ද හා බැදුණු නැකැත් පිරිසිදු අන්දමින් සිදු කරන්නේ ග‍්‍රාමීය පරිසරයන්හි පමනක් බව එදා සිට පැවත එන පිළිගැනීමකි. එබැවින් බොහෝ්මයක් නාගරික පරිසරයන්හි ජිවත්වන පිරිස් අවුරුදු අසිරිය විඳ ගැනීමටත් අවුරුද්ද සැමරීමටත් සිය ගම් බිම් බලා පිටත්ව යනු අතීතයේ සිට දැකගත හැකිය. 
ඔන්චිලි වාරම්, පංච කෙළි, ගුඩු පැනීම්, කැට ගැසීම්, උණ වෙඩි, කැවුම්, කොකිස් සහ අතිරස මෙන්ම කජු හා කොහෝ නාදය සිංහල හා හිංදු අලූත් අවුරුද්දත් සමග ගම තුලින් මතුව එන සාම්ප‍්‍රධායික සංසිද්ධීන් ය. නමුත් මේ සියල්ල පැවතියේ මීට බොහෝ කලකට පෙරදී වන අතර වත්මන් සමාජය තුල මෙම අවුරුදු මංගල්‍යයේ සිරි අසිරිය විඳින්නට හා දකින්නට ලැබෙන්නේ කලාතුරකින් එහෙමත් තැනක පමනි. 
විශ්ව සන්නිවේදනයේ පෙරළිකාර ගමනක නියැලෙන රූපවාහිනිය සිංහල හා හිංදු අලූත් අවුරුද්ද නම් වූ සංස්කෘතික කලා මංගල්‍යය පවා සිය වානිජ අරමුණු වෙනුවෙන් සීරු මාරුවට භාවිත කිරීමට පුරුදු වී සිටියි. අද දවසේ අවුරුද්ද යනු රූපවාහිනී මාධ්‍ය තුල නිර්මාණය වන තවත් එක් රියැලිටි වැඩසටහනක් බවට පත්ව ඇත. රූපවාහිනී කැමරාවක් ඉදිරිපිට නිර්මාණය කරන කෘතිම ගමක් ඇතුලත නාගරික නිරූපන ශිල්පීන් ගැමි ගැහැනුන් හා පිරිමින් ලෙස අවුරුද්ද රඟදක්වන අයුරු දකින අවස්ථාවලදී මුවගට හසරැල්ලක් නැගෙන්නේ ඒ තුල පවතින ව්‍යාජ බව නිසාවෙන්මය. අනෙක් නාලිකාවන්ට වඩා සරුවට තමන්ගේ නාලිකාව තුල අවුරුදු සිරිත් හා නැකැත් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත්කොට පේ‍්‍රක්‍ෂක අවධානය දිනා ගැනීමටත් අවුරුදු සමය තුල සිය නාලිකාවේ Ratings ඉහළ දමා ගැනීමටත් පොරකන ලාංකේය රූපවාහිනී මාධ්‍ය කලාව අද වන විට පත්ව තිබෙන තත්ත්වය දෙස බලන විට ඇතිවන්නේ සංවේගයක් පමනි.
 කෙසේ හෝ වේවා හරි හෝ වැරදි පවතින ක‍්‍රමයට අනුව හැඩගැසීමට ජනතාවට ද සිදුව ඇත. එබැවින් සිංහල හා හිංදු අලූත් අවුරුද්ද නම් වූ අති සුවිශේෂී සංස්කෘතික කලා මංගල්‍යයෙහි සැබෑ අරුත කැමක්දැයි යන්න දැනගැනීමට රූපවාහිනී තිරයක් ඉදිරිපිටට වී දෑස් දල්වා බලා සිටින්නට මෙරට ජනතාවට සිදුව තිබේ. එය එසේ විය යුතුදැයි අප අපෙගෙන්ම ප‍්‍රශ්න කළ යුතුය. 
                                                                                                                                                                                                                     සටහන-
                                                 අමිල නුවන් මධුසංඛ