බේබම්මගේ ආදරයෙන් පිස්සු වැටුණු ආසිගේ කතාව බලන්න කැමතිද ?
ආදරය කියන්නේ වෙනස්ම විදිහේ හැගීමක්. මේ හැගීම තියෙන්න ඕනි හදවතේ මිසක් දේපළ, මිල මුදල් හෝ භාහිර අගපසග මත නෙවෙයි. ආදරේ හරියට නැගෙන රළක් වගෙයි. මුහුදකට සීමා මායිම් දාන්න පුළුවන් වුනාට නැගෙන රළකට සීමාවක් දාන්න කාටවත්ම බැහැ. අන්න ඒ විදිහේ ලස්සන කතාවක් ඇතුලත් චිත්‍රපටයක් මේ දවස්වල බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙලා තියෙනවා. බුවී බාබු සනා විසින් අධ්‍යක්ෂණය කරන ලද නවීන් යෙර්නානි විසින් නිෂ්පාදනය කරන ලද තෙළිඟු සිනමාපටයක් තමයි මේ. ඒ Uppena. මෑතක ඉදලා ලාංකේය රසිකයින් තෙළිඟු සිනමාපට කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන්න පටන් අරගෙන. ඉතින් ඔවුන් වෙනුවෙන් තමයි අපි අද Uppena ගැන කතා කරන්න හිතුවේ.
Uppena එහෙමත් නැතිනම් නැගෙන රළ සිනමාපටයේ තිර රචනය වයි. රවිශංකර්, සුකුමාර් සහ බුවි බාබු සනා විසින් සිදුකර තිබෙනවා. Uppena හරහා අලුත් මුහුණු කිහිපයක්ම සිනමාවට එකතු වෙනවා. ඒ අතර ප්‍රධාන චරිත රඟපාන වෛශ්නාව් තේඡ් සහ ක්‍රිතී ෂෙට්ටි විශේෂයි. ඔවුන්ට අමතරව විඡේ සේතුපති, දේව් ශ්‍රී ප්‍රසාද් කියන පවීන නළුවන්ගෙන් සිනමාපටයට ලැබුණු ආලෝකයත් අමතක කරන්න බැහැ. 2021 පෙබරවාරි 12 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කළ Uppena මිනිත්තු 147ක ධාවන කාලයකින් යුක්තයි. ඉන්දියානු රුපියල් කෝටි 22ක් වැය කරමින් නිර්මාණය කළ Uppena මේ වෙනකොට ඉන්දියානු රුපියල් කෝටි 80-100ත් අතර මුදලක් උපයලා තියෙනවා.
ආසි සහ බේබම්මාගේ ආදර කතාව අනිවාර්යෙන්ම ඔබේ මතකයන් අතර සදාතනිකව රැදී තිබේවි. වෛශ්නාව් ගේ සහ ක්‍රිතී ගේ පළමු චිත්‍රපට රංගනය වුනත් කිසිදු ආගන්තුක බවකින් තොරව ඔවුන් සිය රංගනය ඉදිරිපත් කරනවා. ආරම්භයේ සිට අවසානය තෙක්ම ප්‍රේක්ෂක කුතුහලය රදවාගන්න සමත්වන Uppena අවසානයේ ප්‍රේක්ෂකයින් නොසිතූ මානයකට අරගෙන යන්නේ නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයකුගේ ආගමනය සනිටුහන් කරමින්. ධීවර ගම්මානයක ජීවිතය අලලා නිර්මාණය කළ මෙහි ධනපති නිර්ධන සමාජ ස්ථරයන් තුළ දෝලනය වන ආදරය පිළිබඳ අපූරු පණිවුඩයක් සමාජයට ලබා දෙනවා. 2019 වසරේදී රූගත කිරීම් ආරම්භ කළ Uppena කකිනාඩා, පූරි, හයිද්‍රබාද්, කොල්කටා සහ ගංග්ටෝක් යන ප්‍රදේශවල රූගතකර තිබෙනවා. කුලවාදය කියන කාරණය ඉන්දියානු සමාජය තුළ ඉතාමත් තදින්ම මුල්බැසගෙන තියෙන දෙයක්. ඒ වගේම තමයි පුරුෂාධිපත්‍යය. නමුත් Uppena තුළින් මේ සියළු කාරණා අභියෝගයට ලක් කරනවා. අධ්‍යක්ෂකවරයාට මුල් අවස්ථාවලදී මේ පිළිබඳ චෝදනා එල්ල වුනත් ඔහු කිසිම අවස්ථාවක ඒවාට උත්තර දෙන්න ගියේ නැහැ. නමුත් අද වනවිට ඉන්දියාව ඇතුලේ විතරක් නෙවෙයි, ලෝකය පුරාම Uppena බ්ලොක්බස්ටර්හි ඉහළම තැනකට ගිහින් තියෙනවා.
Uppena ගැන කතා කරනකොට මෙහි සංගීතය අමතක කරන්නම බැහැ. ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුලත් වන මෙහි සංගීතඅධ්යක්ෂණය දේව් ශ්‍රී ප්‍රසාද් විසින්. සිනමාපටය පුරාම එහි රිද්මය රදවාගන්න පසුබිම් සංගීතයෙන් ලබා දී තිබෙන ශක්තිය අති විශාලයි. චිත්‍රපටයේ එන නී කන්නු නීලි සමුද්‍රම් ගීතය සහ ජල ජල ජලාපාතම් යන ගීතය ප්‍රේක්ෂකයන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වූවා වගේම යූ ටියුබ් හරහා විශාල ප්‍රතිචාරයක් හිමිවුනා. මෙහි වෛශ්නාව් සමඟ මුලින් රඟපාන්න යෝජනා කළේ මනීෂා නමැති නිළියක්. නමුත් අධ්‍යක්ෂකවරයාට මේ සඳහා නවක නිළියක්ම යොදාගන්න අවෂ්‍ය වුනා. ඒ අනුව තමයි ඔවුන් තිර පරීක්ෂණයකින් ක්‍රිතී ෂෙට්ටිව තෝරා ගත්තේ.
තමන් රඟපෑ පළමු චිත්‍රපටයෙන් විශාල ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට Uppena පත් කරන්න වෛශ්නාව් සහ ක්‍රිතී වාසනාවන්ත වුනා. පුරුෂයකුගේ පුරුෂ භාවය තීරණය කළ හැක්කේ ඔහුගේ අවයව වලින් නොව මනුෂ්‍යයකු ලෙස ඔහු තුළ පවතින මානව ගුණාංග තුළින් බව Uppena අවසානයේ ඔබට වැටහෙනු ඇති. 2021 වසරේ ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස අපි යෝජනා කරන්නේ ඒ නිසයි.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment